2012/10/21

තොටත් සාදු මටත් සාදු


බ්ලොග් පෝස්ට් එකක් නොදා හිටපු කාලය බොහොම වැඩියි. ආයෙත් ඒ රිද්මය අල්ලගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා සියල්ල ටිකක් පිළිවෙලක් කරගන්න කල් වෙනසකටත් එක්ක ජන කතාවක් රස විඳිමු.

පිංතූරය ගූගල් වෙතිනි.
                                    
                  මේක බොහොම ඉස්සර ගමක විසූ බුද්ධිමත් ගැහැණියක් තමන්ගෙ අනියම් (මේ වචනයට මම කැමති නැත) සබඳතාවයක් උපාය ශීලිව තමන්ගෙ සැමියාගෙන් වසන්කරගත් අවස්ථාවක්.
                                    සැමියා කිසියම් කටයුත්තකට නිවසින් බහැරගිය අවස්ථාවක බිරිඳ තමන්ගේ පෙම්වතා නිවසට ගෙන්වාගෙන ආහාරපානාදියෙන් සන්තර්පනය කරලා ඒ ඒ යුතුකමුත් ඉටුකරලා උන්දෑව පිටත්කළාත් සමගම සැමියා හදිසියේ නිවසට එනවා. අවේලාවේ ලිප දල්වා ඇති බවත්, මිරිස් ගලේ යමක් අඹරා ඇති බවත්, මායියගේ බඳවටා ඇති දාඩිය බිඳු ත් දකින ඔහුට කිසියම් සැකයක් ඇතිවෙනවා. එහෙත් කලබල නොවෙන ඔහු බිරිඳගෙන් මෙසේ විමසනවා

ලිප වට ගින්දර            කුමන්ද
ගල වට ලුණු මිරිස්          මන්ද
බඳ වට දාඩිය              කුමන්ද
මේ ගෙට කවුරුන්     කොයින්ද

උපායශීලී ගැහැණිය සැමියාගේ සැකය කවියෙන්ම මෙසේ බිඳ දමනවා.

අට මාසෙකින් නව මාසෙකින් සඟුන් කෙනෙක්     වැඩියා
කටට රසට බත් වෑංජන පිස දී මං                          පිදියා
දනට පිනට දුන් සනම මේ දැන් මෙහි                 හිටියා
තොටත් සාදු මටත් සාදු ඔය ඔතනින්                    වැඩියා.

                               *************

බලන්න මන්න පිහියක් භාවිතා නොකර සිදුවීම්  කළමණාකරණය කරගෙන තියෙන අපූරුව.

ප/ලි  : තම තමන් දන්න ජනකවිත්. කමෙන්ට් විදියට එකතුකරමු නේද ?

2012/08/25

අත්අඩංගුවට පත්වීම......

වසන්වරට පොලිස් අත්අඩංගුවෙන් තාත්තාව මුදාහැරියේ ලියුම්කරු භාරකරවන පොරොන්දුව මත වුව ද එය එසේ සිදුනොවුනි. භාර වී ආත්මය සිගැනීමට වඩා අත්අඩංගුවට පත් වී මිය යෑම යෙහෙකියැයි ලියුම්කරු ගෙන තිබූ හිතුවක්කාර තීරණයත් ආරක්ෂක අංශ කෙරෙහි තාත්තාගේ විශ්වාසයක් නොමැති වීමත් ඊට හේතු විය.
                 මෙම කාලයේදී  ලියුම්කරු සැඟව සිටි ප්‍රදේශයෙන් නිවසට පැමිණ සිටියේය. පවුලේ අන් අය ද විය යුත්තක් වේවායි  සිතා  නිවසට ම වී සිටීමට තීරණය කර තිබුණි. ලියුම්කරු පමණක් නොව පවුලේ අයකු වුව ද  වෙනත් නිවසකට ගොඩ වැදීම පවා ඒ නිවැසියන්ට අනතුරු දායක වීම ඊට හේතු විය.
       අපගේ ආර්ථික තත්ත්වය ද මේ වන විට ඉතාමත් නරක අතට හැරී තිබුණි. ගොවිතැනින් හා රබර් වලින් ආර්ථික අවශ්‍යතා පිරිමසා ගත් අපට, තාත්තාගේ ද ලියුම්කරුගේ ද  මැදිහත් වීමකින් තොරව යහපත් ආර්ථිකයක් පවත්වාගෙන යාම ඉතා අසීරු විය. එහෙයින් පවුලේ සියළු බර ඇදගෙන යාමට සිදුවූයේ අම්මාට ය.
                                   මේ 1989 වර්ෂයේ දෙසැම්බර් මාසයයි. රැවුම් කඳවුරු හැර තාවකාලික හමුදා කඳවුරු - වධකාගාර බොහොමයක් මේ වන විට විසුරුවා හැර තිබුණි. කිසිවකට සම්බන්ධ නැති සිවිල් පුරවැසියන්ට කිසියම් ඉස්පාසුවක් ලැබුනාක් මෙනි. කෙසේ වෙතත් පොලිස් මෙහෙයුම් දිගටම සිදුවිය. ලියුම්කරු ද තවදුරටත් සිටියේ සැඟවී ය. දිවා කාලයේ දී නිවසට වී සිටිය ද රාත්‍රිය ගතකළේ නිවසින් බැහැරව ය. මෙසේ සිටි එක් දිනක දහවල් කාලයේ දී හදිසියේම පොලිස් කඩාපැනීමක් සිදුවිය. ලියුම්කරු සිටියේ (ඕනෑ ම මොහොතක පැනගැනීමට සූදානම්ව) නිවසේම ය. ඈතින් එන පොලිස් රැළ නිවසෙන් බැහැරව සිටි අම්මාගේ නෙත ගැටුනි. එසැනින් ඈ ලබා දුන් සංඥාවකට අනුව දිවගිය ලියුම්කරු, කිසියම් ආරක්ෂිත තැනක ක්ෂණිකව සැඟවුනි. මේ මොහොතේ නිවසේ සිටි සුරතල් බල්ලා ද ලියුම්කරු පසුපසම පැමිණ, ඒ මගේ ම ඉදිරියට දිව ගිය අතර පොලීසිය දිවගියේ බල්ලා පසුපස ය. එහෙයින් ලියම්කරු සැඟවගත් ඉසව්ව පොලීසිය ට මගහැරුණි. (බල්ලා නිසා බේරුණු මේ අවස්ථාවත් සමග තෙවරක් ම පොලීසියේ හා හමුදාවේ අතටම හසුවීත් ඉන් ගැල වී යාමට ලියුම්කරු සමත්වී තිබුණි).

                                  *****************

                කාලය කෙමෙන් ගෙවී යයි. මිනිසුන් ටික ටික සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වෙමින් සිටියහ. කිසිවකු හෝ වැඩි කතාබහක් නැත. අනෙකා සමග කරන සුළු කතාබහේ වුව ද තිබුණේ, කිසියම් වරදකාරී හැඟීමකින් මනාලද ගතියක් ය. සියල්ලෝම ඉතා නරක විදියට එකිනෙකාගෙන් වෙන්කළාක් මෙන් පෙනුණි. සෑම විටම එකෙකු අනෙකා දෙස බැලුවේ සැකයෙනි. කැරැල්ල පූර්ණ වශයෙන් මැලා, කැරළි නායකයින් ද මරා දමා, ඉතිරිව සිටි කැරළිකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබියදීත් මෙවන් බියක් ගන්නට මිනිසුන්ට ඇති හේතුව කුමක් ද..? ඒ අන් කිසිවක් නිසා නොව රාජ්‍ය ත්‍රස්තවාදයේ භිෂණය නිසයි. මෙය තවත් වසර ගණනාවක් යනතුරු නොනිවී දැල්වුන ගින්නක් විය.
                        මේ කාලයේ ආණ්ඩුවේ හොරණෑ නිරතුරුවම හ නැගුවේ නොමග ගිය තරුණයන්ට භාරවන ලෙසයි. භාර වූ අයගේ ප්‍රකාශ සහිත දැන්වීම් ද ප්‍රචාරය විනි. (නොමග ගිය තරුණයන්.....!? කෙතරම් අපූරු හැඳින්වීමක් ද සුමග යෑමට අවශ්‍ය සියළු දේ තිබියදීත් නොමග ගිය තරුණයන්.....!!! )  කෙසේ වෙතත් ඊට අවනතව බොහෝ දෙනෙක් අදාල කවුරුවලට හෝ පොලීසි වලට භාර විය. අරමුණු හැර සටන සම්පූර්ණයෙන්ම පරාජය වී තිබිය දී තවදුරටත් ඒ මතම බලාපොරොත්තු දල්වාගෙන සිටීමේ තේරුමක් නැත.
                    උණු ලෙයින් පාට සටහන් කළ මරණයේ කළු දුමාරයෙන් වැසීගිය 89 වසර අවසන්ව 90  නව වසර උදා වූයේ ද අත්නොහැරි භීෂණය සමගිනි. ලියුම්කරු තවමත් සිටින්නේ  සැඟවීගෙනය.  ඒ තරමක් විශාල ගල් දෙකක් අතර පිහිටි දෙබුක්කාවකි. එය පස්වලින් පිරී ඇත. ඊට ආවරණය සැපයුනේ ඉහලින් ඇති විශාල බට පුරකිනි. පිටතින් බලන කිසිවකුට හෝ එහි ඇතුළත යමෙකු සිටීයැයි  නොපෙනේ. එය කදිම නිවහනකි. පස් තට්ටුව මත තිබූ කොළ රොඩු ඉවත්කර ඒ මත එළාගත් පොලිසැක් කවර දෙකකින් සැඟවගත් කැරලිකරුවාගේ යහන සැකසිනි. මෙසේ කැළැවල ගස් ගල් යට රාත්‍රිය ගතකරන්නට වී බොහෝ කාලයක් නිසා ලියුම්කරුට නම්  එහි අරුමයක් නොවීය.

සර්පයකු සමග........
                           
                     ඒ 90 ජනවාරි මස 15 වන දින රාත්‍රියයි. ලියුම්කරු, දුරුතු මස අධික ශිතල ද සමග වන යහනේ රාත්‍රිය ගෙවමින් සිටී. ශිතල ද තෙතබරිත පින්න ද ඔබගේ පීනස උත්සන්න කිරීමට හේතුවකි. එහෙත් කිවිසුමක් ඇරීමට ඔබට අවසර නැත. එය ඔබ සැඟව සිටින ඉසව්ව ගැන ඔබ විසින්ම සතුරාට දෙන ඔත්තුවකි. කෙසේ වෙතත් මෙවැනි රාත්‍රියක දී - මෙවැනි  වන රොදක දී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ සර්පයන්ගෙනි. මේ මොහොතේ සර්ප දෂ්ඨනයක් සිදුවුවහොත් ඔබට තෙයාකාරයකින් මරණය ළඟාවිය හැක. ප්‍රතිකාර ලබාගැනීමට යාමේ දී ආරක්ෂක අංශවලට හසු වී වෙඩි තැබීමෙන්  හෝ ප්‍රතිකාර පමා වීමෙන් ද ආරක්ෂක අංශවලට හසුවනු ඇතැයි යන සැකයෙන් නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ද එය සිදුවිය හැක.මේ හේතුව නිසා ලියුම්කරු සෑමවිටම සිටියේ ඊට සූදානම්ව මල්කෑර කෝටුවක් හා පෙන්ටෝච් එකක්ද ළඟ තබාගෙනය. (සැවගත් කැරළිකරුවා සතුව තිබූ භයානක අවි ආයුධ ඒවාය).
                                 බලාපොරොත්තු වූ පරිද්දෙන්ම එය සිදුවිය. සර්පයා ඇදී ආවේ කකුල දෙසිනි. දැනෙන විදියටනම් තරමක් ලොකු සතෙකි. හේ පොරෝනාව දිගේම ඉහළට ඇදීවිත් දණහිසට යටින් හරි බරි ගැසී ගුලි විය. (ඔබ කලබල වන්නේනම් සිදුවන්නේ අනෙකකි). සෑහෙන වේලාවක් වෙහෙස වී කිසියම් ඉඩක් පාදාගත් සතා, සැනසිලිදායක නින්දකට වන් සෙයක් පෙණුනි. මේ මොහුගෙන් ගැලවීමට සුදුසුම මොහොතයි. කකුල සෙමින් නවා එකවරම නැගීසිට පෙන්ටෝචය දල්වා බැලූ විට ලියුම්කරු දුටුවේ පොරෝනාව මත ගුලිගැසී සිටින මුදු කරවලෙකි.හේ මිනිස් උණුසුමට බෙහෙවින් ප්‍රියකරන තෙත් කලාපයේ වෙසෙන උග්‍ර විෂ සර්පයෙකි. නයාටත් පොළඟාටත් වඩා විෂෙන් වැඩි වුව ද මොහුගෙන් දෂ්ඨනයක් සිදුවන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් ලියුම්කරුට මොහු හා මිත්‍ර සමාගමයක් නැත. එහෙයින් පෙර සූදානම්කරගෙන තිබූ කෝටුව ආධාරයෙන් සතා ඈතට විද දැමීය.


පොලිස් රැකවලුන්ට හසුවීම......
                  
                         සර්පයා සමග වූ හෙයියම්මාරුව නිසා ඉන් පසු ලියුම්කරුට නින්දක් නොවීය.  කෙසේ වෙතත් හේ පාන්දර 4 හමාර පමන වනතුරු එතනම ගතකර නිවසට සේන්දු වූයේ තේ එකක් බීමේ අදහසිනි. වටපිට කිසිදු අනතුරක ළකුණක් හෝ නැත. ලියුම්කරු දොරට තට්ටු කළේය. එසැනින් ම දොර විවෘත විය. (පවුලේ අන් අය ද ලියුම්කරු මෙන්ම නිසි නින්දක නොසිටින්නට ඇත). අනතුරුව තේ එකක් බිබී සුළු කතාබහක යෙදී සිටි මොහොතේ බල්ලාගේ ගෙරවුම් හත් සමග නිවයේ ඉදිරිපසින් ද පිටුපසින්ද ඇසුනේ බූට් සපත්තු හකි. කොයි මෙහොතේ හෝ සිදුවේ යැයි සිතූ ලෙසින් ම ඔවුන් පැමිණ සිටී. කලබල කිරීමේ හෝ පැනයාමට උත්සාහ කිරීමේ තේරුමක් නැත. මුලින්ම තාත්තා ද දෙවනුව ලියුම්කරු හා අන් අය ද නිවසින් එළියට ආහ.


...හා ...මේ ඉන්නෙ වීරයා......මෙච්චරකල් කට්ටි පැන්නා ඇතිනෙ.....දැන් යමු....

...තමුසෙලා දවල්වෙලා පොලීසියට එනවා....... ඒ නියෝගය තාත්තාට ය.

(නිසැකවම මොවුන් ප්ලැටූන් එකේ ගහලයින් විය නොහැක. නැතිනම් මේ සිදුවීම මෙතරම් සාමාන්‍යය නොවේ).
                                    ලියුම්කරු ජීප් රථයට නංවාගත් සැනින් දෑත් පිටුපසට කර බැ දැමිනි. මේ මොහොතේ ඒ තුළ ලියුම්කරුගේ සගයෙකු ද විය. හේ අත්අඩංගුවට ගෙන තිබුනේ තුවක්කුවක් ද සමගය.

උඹ දන්නවද අද උඹලගෙ ගෙදරට අපි කරන්න ආවෙ මොකද්ද කියලා......

ලියුම්කරු නිහය.

බලපන් මේ මොනවද කියලා......

පෙට්‍රල් කෑන් කිහිපයක් පෙන්වයි....මොවුන් කියන්නේ ලියුම්කරුගේ නිවස ගිණි තැබීමට පැමිණියා කියා විය යුතුය. ලියුම්කරු කිසිත් නොදොඩයි.....සගයා ද පසෙක ය.

...තෝ කැමති ටයර් එකේ යන්න ද නැත්නම් තල්දූව පාළම යටින් කැලණි ගගේ යන්න ද.....
                   මේ මොහොතේ ඔබ ජීවිතය ඉල්ලා ආයාචනා කරන්නෙ නම් ඔවුන් බොහෝ සේ සතුටුවනු ඇත. එහෙත් ලියුම්කරු සිටියේ කෝපයෙනි.

......ඒක තීරණය කරන්නෙ අපි නෙවෙයි නෙ......

              මේ ඔවුන් බලාපොරොත්තු වූ පිළිතුර නොවේ, පොලිස් කරුවන්ගේ කෝපය ඉහවහා යයි....

.....පුක නැත්නම් තෝත් යකා.......

  අනතුරුව ලියුම්කරුගේ දෙකන් මතට එල්ලවන්නේ දරුණු ප්‍රහාරයක් ය.  ඒවා නළලට ද මුහුණට ද ඉක්කයකින් තොරව ද එල්ල වේ. සගයා දෙස බලා, තෝ මොකද බලන්නේ යැයි කියා ඔහුට ද පහර දේ.
                         අධික ශිතල නිසා අගුල්වැටී තිබූ කණට මේ කළ පහරදීම නිසා තමයි. ලියුම්කරු සදාකාලික බිහිරෙකු වූවේ. එසේ වුවද  එය සිදු වූයේ එක්වරම නොවේ.
                        පොලිස් කරුවන්ගේ වහසිබස් තවම අවසන් නැත.....

          “යමව්..... පොලීසියට, දෙන්න පෝරියල් එක.......


මතු සම්බන්දයි......

ප:ලි/ මේ ලිපි මාලාව කියවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.....










2012/08/14

තාත්තා; නැවතත් ප්‍රාණ ඇපකරුවකු ලෙස....


තාත්තා  එක් වධකාගාරයකින් නිදහස් වී සතියක් ඉකුත්වීමටත් මත්තෙන් නැවතත් ඉංගිරිය පොලීසියෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්අඩංගුවට ගත්තා. කුමන හෝ හේතුවක් නිසා ඔහුට එහිදී පහරදීම් සිදුනොවූ අතර එදිනම මුදා හැර තිබුණා.
                        (මේ කාලයේ දී මා, රත්තනපුර ට නුදුරු ප්‍රදේශයක තවත් පිරිසක් සමග ආරක්ෂිතව සැඟවී සිටියා. දවල් කාලයේ ගගේ මැණික් ගරන අනෙකුත් ගැරුම්කරුවන් මෙන් අප ද මැණික් ගැරීමේ නිරතව සිටියෙමු. කිසිවෙකුගේ හෝ සැකයට භාජනය නොවී අපගේ වියදම් පිරිමසා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ද ඉන් ලැබුණි. එහෙත් රාත්‍රී කාලයේ දී ආරක්ෂාව තහවුරු කරගතයුතු විය. මේ සහා විවිධ උපාය උපක්‍රම භාවිතා කළෙමු. ඒ ක්‍රමෝපායන් ඉතා සාර්ථක විය. මා සමග එහි සිටි වෙනත් කිසිවෙකුටත් කරදරයක් නොවිණි. තාත්තා ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්අඩංගුවට නොගත්තානම්  කිසි දිනෙක මා අත්අඩංගුවට පත් නොවෙනු ඇත.)
                            තාත්තා ඉංගිරිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැර  සති දෙකක් ඉක්ම ගොස් තිබුණි. එක් පාන්දර යාමයක බල්ලන්ගේ බිරුම් හ මැද නිවසට කඩා වැදුනේ අවිස්සාවේල්ල පොලීසියේ වධක කණ්ඩායමේ පිරිසකි. කිසිදු විමසීමකට ඉඩ නොතබා නිදි ඇ‍‍දේ සිටි තාත්තා  ඇඳිවත පිටින්ම නැවතත් අත්අඩංගුවට ගැණුනි.
                       එකෙනෙහිම තවත් කණ්ඩායමක්  මගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණේ, මා ඔහුගේ නිවසේ සගවාගෙන සිටියේ යැයි යන චෝදනාව පදනම් කරගෙනය. ඔහුට ද බොහෝ සේ පහර දී නමුත් පොලීසියට ගෙන නොගොස් අතරමග දී මුදා හැර තිබුණි.
                   තාත්තා අත්අඩංගුවටගත් වධකයෝ, එතැන් සිටම  පහරදෙමින් ඔහුව රැගෙන ගියහ. (උදළුමිටක් කැඩෙන තුරුම ඔහුට පහර දී තිබුනි) ඒ මොහාතේ ම මගේ නම ම තිබූ තවත් අයෙකු ද අත්අඩංගුවට ගෙන පහර දී අතරමග දමා ගොස් තිබුණි. (ඔහු ප්‍රදේශයේ ප්‍රබල එ.ජා.ප සාමාජිකාවකගේ පුත්‍රයෙකි. හේ ගමේ පාසලේ දී ලියුම්කරු සමග එකම පන්තියේ එකට අකුරුකළ අයෙකු වුව ද පසු කාලයේ දී ඔහු හා කිසිදු හිතවත් කමක් නොවීය. ඔහුව අත්අඩංගුවට ගැනීමට තිබූ එකම හේතුව, ලියුම්කරුගේ නම ම ඔහුට ද තිබීමය).
                       පොලීසියට රැගෙන ආ තාත්තා සමග තවත් ප්‍රාණ ඇපකරුවන් රැසක් විය. ඉන් එක් අයෙක් සිය සැමියා වෙනුවට රැගෙන ආ දරුවකු බිහිකිරීමට ආසන්න කාලයේ සිටි ගැබිණි මවකි. බොහෝ වියපත් පියෙක්, සිය මුනුපුරා වෙනුවට රැගෙන විත් තිබුණි. ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ වෙද මහතෙකු රැගෙන විත් තිබුණේ ඔහුගේ පුත්‍රයා වෙනුවටය. අවුරුදු 12ක පමණ වයසැති කුඩා  පිරිමි ළමයෙකු සිය නිවසේ සැඟවී සිටියේ යැයි කියන ඥාති සහෝදරයෙකු වෙනුවෙන් දඬුවම් විඳීය. නම කියූ පමණින් මුළු රටම දන්නා අවිස්සාවේල්ලට නුදුරු ප්‍රදේශයක ප්‍රසිද්ධ කිවිඳියක රැගෙනවිත් තිබුණේ ඇගේ පුත්‍රයා වෙනුවටය. ඇය ද ම්ලේච්ඡ වධබන්දනයට ලක්කර තිබිණි.

පොලිස් වධකාගාරය.....

           වධකාගාරය ලෙස  භාවිතා වූ‍යේ, පොලිසියේ ගරාජයයි. එය වධකයින්ගේ විනෝදාගාරය ද විය. මත්පැනින් හොින් සන්තර්පනය වූ වධකයෝ, සැකකරුවන් ද ප්‍රාණ ඇපකරුවන් ද සිය බයිට් එක බවට පත්කරගත්හ. රබර් නල ද වියළූ ගවලිඟුවකින් සාදා ගත් කසයක් (මෙය HP එක නමින් හැඳින් විනි) ද විකට් පොලු ද ගැල්වනයිස් බට ද මොවුන්ගේ ප්‍රහාරක අවි ලෙස භාවිතා විය. වධක කණ්ඩායම වූයේ 8 දෙනෙකුගෙන් පමන සමන්විත පිරිසකි. මොවුන් නිල ඇුම් භාවිතා නොකළහ. සිවිල් ඇඳුම ද මුහුණ පුරා වැවුන රැවුල ද මොවුන්ගේ පොලිස් අනන්‍යතාවය සගවාලීය. 
              වධ දීමේ දී, දෑතේ මහපට ඇඟිලි එකට එක්කර නයිලෝන් ලණුවකින් බැ බාල්කයේ එල්ලා පහරදීමේ ක්‍රමය මොවුන් වඩාත් කැමති වධකාංගය විය. මුනින් අතට බිම දමා දෙපා මත නැග දෙපතුලට පොල්ලකින් පහර දීම තවත් එවැනි වධකාංගයකි. (එය පසඟ පිහිටුවීම ලෙස නම් කෙරිණි). තවත් ධර්ම චක්‍රය දැමීම ඇතුළු වධක ක්‍රම තිබුණ ද මෙහිදී ඒවා භාවිතා නොවුණි.  
                මේ කුමන ක්‍රමයකින් වුව ද ඔවුන් බලාපොරොත්තුවන්නේ ජීවිතය ඉල්ලා යදින යැදුම්ය.... මරණ බියෙන් නගන ලතෝනිය...... වැලපුම් ය.... වැඳ වැටීම්ය......මෙයින් ඔවුන් සතුටට පත්වේ. ඔබෙන් අසන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක් වුව ද එමගින් ඔවුන් සෑහීමකට පත්නොවේ.
                 තාත්තාගෙන් අසා ඇත්තේ  මා සිටින ස්ථානයයි, එය නොදන්නා බව කීව ද පහරදීම් නතරවන්නේ නැත. දෙවනුව මගේ ඡායාරූපයක් පෙන්වා ....මේ පුතා නේද ....? යැයි විමසූ විට  ...නෑ, ඒ පුතාගේ යාළුවෙක්..... යැයි  ඔහු පවසා ඇත. (එය අසාර්ථක උත්සාහයක් වුව ද එයිනුත් ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ මා ආරක්ෂා කිරීම විය යුතුය) වධකයෝ ඉන් වඩාත් කෝපාවිෂ්ට විය. පහරදීම් වඩාත් නරක අතට හැරුණි.
                          කෙසේ වෙතත් තාත්තා ට එල්ලා පහරදීමක් නො‍කෙළේය. එහෙත් පොලුවලින් පහර දී ඉදිමී තිබූ ඇඟට ම රබර් නලයෙන් පහරදීම නිසා සම පුපුරා දැඩි සේ තුවාල ඇතිවිය. ඒවායෙන් ගලා ආ ලෙයින් ඇඳ සිටි සරම සම්පූර්ණයෙන්ම තෙත් වී තිබුණි. (වධකාගාරයෙන් නිදහස් වීමෙන් පසු තාත්තාගේ ඇඳුම් මාරු කිරීමේ දී, සරම ගැලවූ පසු එය බිම නොවැටී තට්ටුවක් සේ රැඳී තිබුනේ වියලී ගිය ලේ නිසාය)
              අත්අඩංගුවේ සිටි කාලසීමාවේ දි තාත්තා හමු වී සුවදක් බැලීමට  කිසිවෙකුට හෝ අවසර නොවීය. පහර දීම නිසා බෙහෙවින් දුර්වලව සිටි ඔහුට තරමක් නිදහස් සැකකරුවන් විසින් උපකාර කර තිබුණි.
                               
                               *****************
                       මේ කාලය වන විට ව්‍යාපාරයේ  සියලුම නායකයින් මරාදමා හෝ අතුරුදහන් කර තිබුණි. දිවිගලවාගත් එකම නායකයා සෝමවංශ අමරසිංහ පමනි. ඔහු කෙසේ හෝ රටින් පැනගොස් ආරක්ෂා විය. මේ තත්වය තුළ දෙවනපෙළ හා පහළ සමාජිකත්වයට රජය විසින් නිකුත් කළ “නොමග ගිය තරුණයන්ට” බාරවන ලෙස කළ ඉල්ලීමට අවනතවන්නට සිදු විය. ඒ අනුව ලියුම්කරු ද පොලීසියට බාරකරවන පොරොන්දුව මත තාත්තාව නිදහස් කෙරිණි. 


මතු සම්බන්දයි.............

ප/ලි:  මේ ලිපිය කියවීමේ දී හැකිතරම් කාලයට සාපේක්ෂ වන්න.





2012/07/30

තාත්තා; ප්‍රාණ ඇපකරුවකු ලෙස පළමු වරට.......


හු එවකට අවුරුදු 53ක් වූ මැදි වියේ මිනිසෙකි. ව්‍යාපාරය කෙරෙහි කැමැත්තක් ඔහු තුළ තිබුණ ද ඔහු එහි සාමාජිකයෙකු නොවීය.  එහෙත් වාමාංශික දේශපාලනය කෙරෙහි විශ්වාසය තැබූවකු විය. එහෙයින්ම ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් ගැන ඔහුට විවේචන තිබුණි. නමුත් විරුද්ධ නොවීය. මෙය අවිධිමත්ව වුව ද විය යුතුම දෙයක් බව ඔහුගේ ද ඔහුගේ මිතුරන්ගේ ද පිළිගැනීම විය. ( ඒ වන විට රටේ පොදු ජන මතයද ඊට සමපාත විය) කේසේ වෙතත් මේ මිනිසකු දණ්ඩනයට ලක්කරන්නට තරම් වරදක් නොවේ., එහෙත් එය සිදුවිය.......
               ඒ 89 නොවැම්බර් මස 13 වනදා විය යුතුය. අඳුර වැටීගෙන එන විටම නිවසට කඩා වැදුන හමුදා සොල්දාදුවෝ මා වෙනුවට මගේ තාත්තා අත්අඩංගුවට ගත්හ. මවගේ ද නැගණියගේ ද විලාප තැබීම් වලින් ද විරෝධතාවයෙන් ද ඵලක් නොවිණි. කෙසේ වෙතත් තාත්තාගෙන් කිසිදු විරෝධතාවයක් එල්ල නොවීය. හේ සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට හිත හදාගත් සෙයකි. ( ඔහු ද හිටපු හමුදා සොල්දාදුවෙකි)
                                      අත්අඩංගුවට ගත් තාත්තාගේ දෑස් ද දෑත් ද හමුදා රථයට ‍ ඇතුළු කිරීමට පෙර බැ දැමිණි. ඉන් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොහේටදැයි කිසිවෙකුටත් නිනව්වක් නොවීය. එහෙත් ප්‍රදේශයේ එ. ජා. ප ක්‍රියාකාරීන් එය දැන සිටින්නට ඇත.
                             ගමේ එ. ජා. ප. ශාඛා සමිතියේ සභාපතිවරයා මගේ පියාගේ හොම මිතුරෙකි. ඔහු මේ සිදුවීම් කෙරෙහි පක්ෂග්‍රාහී නොවීය., උපේක්ෂා සහගත විය. (කැරළිකරුවන් පිළිබ ඔත්තු සැපයීම හා තරුණයන්ගේ නාමලේඛන ඝාතකයින් වෙත ලබා දීම ඔහුගෙන් සිදු නොවිණි. එය සිදුකළේ එම සමිතියේ ම නිලධාරින් වූ ගැහැණුන් දෙදෙනෙකු විසිනි). ඔහු ඔහුගේ මිතුරා ගැන සොයා බලන්නට ඇත. එහි ප්‍රතිඵලයක් විදියට තාත්තාව රවා තබා ඇති ස්ථානය පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව ක්‍රියාකාරී වූ පියාගේ මිතුරන් එවකට පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා හරහා කළ බලපෑම් හේතුවෙන් සතියකට පමණ පසු අළුයම් කාලයේ අවිස්සාවේල්ලට නුදුරු “දිවුරුම්පිටිය වත්තේ” කිසියම් තැනක දී දෑස් හා දෙඅත් බැඳ  මුදාහැර තිබුණි.
                     එතැන් සිට අනුමාන වශයෙන් පාර නිශ්චය කරගෙන ඇවිද ආ ඔහු කෙසේ හෝ දිවුරුම්පිටිය රාත්‍රී හෝටලය අසලට පැමිණ තිබුණි. එහි දී, බණ්ඩාරවෙල සිට කොළඹ ට එළවළු රැගෙන යන කාරුණික ලොරි කරුවකු හා ඔහුගේ සහායකයා විසින් පියාගේ දෑස් හා දෑත් නිදහස් කර හෝටලයට රැගෙන ගොස් ආහාර ලබා දී ආපසු නිවසට ඒම සඳහා මුදල් ද ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඒ වන විට ඔහු ලද වද හිංසා හේතුවෙන් කතා කිරීමට නොහැකි වී තිබුණි. සියලු සංවාද සිදු වී ඇත්තේ ලිඛිතවය. ( පසුව හිතවත් වෛද්‍යවරයෙකුගෙන් ලද ප්‍රතිකාර හේතුවෙන් කතා කිරීමේ හැකියාව නැවත ලැබිණි). 
            කෙතරම් වධ බන්ධනයට ලක්කළද තාත්තා මා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොකළේය. එකම දේ දිගටම කියමින් වධකයින් වෙහෙසට පත් කරන්නට ඔහුට හැකි විනි. යම් වචනයක් ඔහුගෙන් ගිලිහුනිනම්, ඒ මොහොතේ වධකාගාරය ආසන්නයේම ප්‍රදේශයක සිටි මා  නිසැකවම අත් අඩංගුවට පත්වෙනු ඇත.

                                   **************
                       වධකාගාරයේ සිටි කාලයේ දී ඔහුට ආහාර ලබා දී තිබුණේ දවසකට එක් වරක් පමනී.  අනෙකුත් සැක කරුවන්ට එසේවත් නොලැබුණු බව පසුව ඔහු පැවසීය. වරෙක පියා වතුර ඉල්ලා සිටි විටෙක සුළු වතුර ප්‍රමාණයක් ඔහුට ලැබුණ ද අනෙකුත් සැක කරුවන්ගේ කටට මුත්‍රා කිරීම හැර වතුර ලබා දී නොතිබිණි. ඔවුන් බොහෝ දෙනෙකු පසුව ඝාතනය කරන්නට ඇත. එහි දී දිවි ගලවාගත් දෙදෙනෙකු පසුව බූස්ස රැඳවුම් කඳවුරේ දී මෙම ලියුම් කරුට හමු විය.
            මෙම වධකාගාරය පවත්වාගෙන ගියේ; හමුදාව - ඇහැලියගොඩ පොලීසිය හා ප්‍රදේශයේ එ. ජා. ප මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායම ඒකා බද්ධවය. අදාල ගොඩනැගිල්ල ලබා දී තිබුණේ, හිටපු එ.ජා.ප පලාත්සභා මන්ත්‍රීවරයෙකුගේ පියා විසිනි. මේ වන විට එහි කොමර්ෂල් බැංකු ශාඛාවක් පවත්වාගෙන යන අතර එවකට එය “.........වතී .....නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව” ලෙස නම් කෙරී තිබුණි. සත්තකින්ම එහි “අනුස්” සහ සම්මන්ත්‍රණ තිබුණේ නැත.

මතු සම්බන්දයි......

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.

2012/07/21

‘88-89 මරණයේ දේශය ගැන...


කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන තිබුණි. දූෂිත මිනීමරු පාලකයින්ට කිසිවක් පාලනය කරගත නොහැකි විය. තරුණයින් අත්අඩංගුවට ගෙන මරාදමමින් භීෂණය වපුරා කැරළිකරුවන් බිය වැද්දීමේ ක්‍රමය අසාර්ථක වී තිබුණි. බොහෝවිට අත්අඩංගුවට ගෙන මරා දැමුවෝ පැවති පාලනයට විරුද්ධවූවන් වුව ද කැරළි කරුවෝ නොවීය. තවදුරටත් සිය පාලනය පවත්වාගෙන යාමටනම්  කෙසේ හෝ කැරැල්ල මර්දනය කළ යුතු   තැනට ආණ්ඩුව පත්විය. එයට අලුත් අලුත් අත්හදාබැලීම් එක් වී ක්‍රියාවට නැගින.

1.  එ.ජා.ප ප්‍රාදේශිය නායකයන් විසින් ලබාදෙන නාම ලේඛනයට අනුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.

2.        බිල්ලා මගින් කැරළිකරුවන් හඳුනා ගැනීම.

3.   අත්අඩංගුවට ගැනීමට නොහැකි කැරළිකරුවන් වෙනුවට ප්‍රාණ ඇපකරුවන්    අත්අඩංගුවට ගැනිම.

                 පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බි දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද .... ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.
                  ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය.  ජීවිතය ඉල්ලා  යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ සියල්ල මධ්‍යයේ වුව ද කැරළිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මදකට හෝ අඩු වූ බවක් දක්නට නොවීය. සිදු වූයේ ඒවා තව තවත් වර්ධනය වීම හා බිහිසුණු වීම පමණකි. ඒ අනුව දෙවන ක්‍රියාමාර්ගය හෙවත් බිල්ලා මගින් කැරලිකරුවන් හඳුනාගනීමේ ක්‍රමයට වධකයින් අවතීර්ණ විය.
                     දෑසට පමණක් විවර දෙකක් තැබූ රෙද්දකින්  මුළු ඇගම වසා ලූ බිල්ලා  ලෙස පෙනී සිටියේ බොහෝවිට,

1.              ප්‍රාදේශිය එ.ජා.ප නායකයෙක්

2.              ග්‍රාම සේවක

3.              අත් අඩංගුවට ගත් කැරළිකරුවෙක්

                මෙම ක්‍රමය ක්‍රියාවට නගනුයේ බොහෝවිට නගරයේ ක්‍රීඩාපිටියක් වැනි ඉඩ කඩ ඇති ස්ථානයක දී ය. භීෂණය කෙතරම් උත්සන්න වී තිබුණ ද ඔබට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නගරයට යාමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක දී නගරයේ සැරිසරන්නන් සියල්ලම ක්‍රීඩා පිටියට ගාල්කර පෝලිම් ගස්සවා බිල්ලා ට පෙනෙන ලෙස ගමන් කරවයි. බිල්ලා තිරස්ව හිස වනන්නේනම් ඔබ නිදහස්ය. සිරස්ව හිස වනන්නේ නම්, ඒ ඔබ මෙලොව ජීවත්වන අවසාන දවස විය හැකියි.

             
               මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
                             වධකාගාර හා හමුදා කඳවුරු අසල  අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද  අදෝනාවලද නිමක් නොවීය. කිසා ගෝතමියක් නොමැති ගෙයකින් අබැටක් සොයා ගැනීම අපහසු විය.
                            මේ ’89 වසරේ අගභාගයයි, අරගලයේ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී හෝ ඝාතනය වී තිබුණි. ඒ අතර රෝහණ විජේවීරයන් ද උපතිස්ස ගමනායක, ආනන්ද ඉඩමේගම, උපාලි ජයවීර,එච්.බී. හේරත් වැනි ප්‍රධාන පෙළේ නායකයන් ද විය. මේ තත්ත්වය තුළ අරගලය පරාජය වන බවට තිසිදු සැකයක් නොවීය. සියළු සබඳතා ගිලිහුන කැරළි කරුවෝ කුඩා කණ්ඩායම් ලෙස තැන තැන හුදකලා සටන්වල නියැලිනි. ඔවුන් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගවී සිටි නිසා අත් අඩංගුවට ගැනීම පහසු නොවීය. එහෙත් මර්දනය සාර්ථක වන්නටනම් ඔවුන්ද  අත්අඩංගුවට ගතයුතුවිය. ඒ සදහා ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමේ තෙවන ක්‍රියාමාර්ගය ද ක්‍රියාවට නැගින.


මතු සම්බන්දයි.........

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න. 

2012/07/14

1 වසරට ඇතුල්වීම


ද මට සුවිශේෂ දවසක්, මගේ පළමු මරණයේ 22වන සමරුව යෙදී තියෙන්නෙ අදටයි. මේ මොන අපබ්‍රංශයක්දැයි ඔබට සිතෙනු ඇති. එහෙත් මෙය අපබ්‍රංශයක්ම නොවේ. මිනිහෙක් තමන්ගෙ ජීවිත කාලයේදි කීවරක්නම් මැරි මැරි උපදිනවා ඇද්ද ? මටත් ඉතින් ඒක එහෙමම තමයි.
                 ඒ 1990 ජූලි මස 14 වනදායි, මා කිසියම් ඬක් ඇසූ අවසන් දවසයි. ඒ එතෙක් අපව රඳවා සිටි කලපළුවාව රැඳවුම් කඳවුරේ සිට බූස්ස දේශපාලන රැඳවුම් කඳවුරට ඇතුළත්කළ  මොහොතේ දේශනය කළ කර්නල්වරයාගේ හඬයි. ඒ හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් ඈතින් ඇහෙන හඬක් සේ තුනී වී අවසානයේ සම්පූර්ණයෙන්ම නැතිවිය. ඉතින් එදා ඉඳලා මා ශ්‍රව්‍යාබාධිතයෙක්, අමුවටම කියනවනම් බිහිරෙක්, ඒක තමයි මගේ පළවෙනි මරණය.
          තවත් කාරනා දෙකක් නිසා ජූලි 14 මට වැදගත් වෙනවා. එකක් රෝහණ විජේවීරගේ උපන්දිනය. අනෙක, මහා මර්දනයෙන් පසුව  ජ.වි.පෙ ප්‍රසිද්ධ දේශපාලනයට ආ දවස (94 ජූලි 14). ඉතින් මගේ බ්ලොග් එක පටන්ගන්නත් අද දවස හොඳයි කියල හිතුනා.
                            මේ බ්ලොග් එකේ නම ප්‍රහාරයයි. මා බොහෝ දෙවල් දිහා බලන්නෙ විවෙචනාත්මකව වීමත්, තවමත් විශ්‍රාම නොගිය සටන්කරුවකු වීමත් නිසා ඒ නම ඊට හොඳින් ගැලපේයැයි සිතමි. එහි උප ශිර්ෂය ලෙස ‍යොදාගෙන ඇති මිනිසකු විනාශ කළ හැකිය - පරාජය කළ නොහැකිය යන්න අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද නවකතාවේ සමස්ථයම එකට කැටිකළ තනි වාක්‍යයයි. මගේ ජීවිතය අරබයා ද එය එසේම වන හෙයින් සුදුසු සංස්කරණයකින් පසුව එයම යොදා ගත්තා.­
               මේ බ්ලොගයේ දී දේශපාලන සිරකරුවකු ලෙස  පොලිස් වධකාගාරයේ ද, කලපළුවාව - බූස්ස රැඳවුම් කඳවුරුවල ද මැගසින් බන්ධනාගාරයේ ද ගෙවා දැමූ වසර 4 හමාරක ජීවිත කාලය පිළිබඳ අත්දැකීම් ඔබ හා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. බොහෝවිට මා දරන අදහස්  විකල්ප ධාරාවේ දේශපාලනය හා ගැටගැසී ඇති නිසා ඔබට කිසිසේත්ම එකගවිය නොහැකි අවස්ථා මෙහිදී හමු වේවි. එහෙත් ඒ ගැන නොසිතා ඔබගේ ප්‍රතිචාර ඍජුව දක්වන්න.
                මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ දේශපාලනය පමණක් නොවේ. පොතක් පතක් ගැන, මා කියවා රස විඳි කවියක් ගැන හෝ වෙනයම් සාහිත්‍යය කෘතියක් ගැන ඔබ හා අදහස් හුවමාරු කරගන්න බලාපො‍රොත්තු වෙනවා. මගේ වෘත්තීය ජීවිතයේත්, වසර 42 ක සමස්ථ ජීවිතයේත් ඔබට ගතයුතු යමක් ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සියළු දේ අපි බෙදා හදා ගමු.
                        හැබැයි මා වඩාත් සතුටු වන්නේ බ්ලොග් ලිවීමෙන් නොව, අන් අයගේ බ්ලොග් වල කමෙන්ට් කිරීමෙන් බව ඔබට කිවයුතුයි. ­එහෙත් බ්ලොග්කරුවන් ගනනාවකගේ බලපෑම් නිසා තවදුරටත් බ්ලොග් එකක් නොකර සිටීමට නොහැකි තත්ත්වයට මා පත්වුනා. පළමු වරට බ්ලොග්කරුවන්ගේ ගාලු සුහද හමුවේ දී නාකියාත් චාමික WP ත් බ්ලොග් එකක් කරන්න යැයි ඉල්ලා සිටියා. පසුව - වර්ණා, පොඩිමෑන්, රාජ්, සෙන්නා, වෙනි, අසරණයා, සුදික, ඊ මේල් කවිකාරි, මී ගොඩයා, පසන්, බට්ටා, චාර්මි.....(නාම ලේඛනය තව දිගයි) ­­නිතර විමසා සිටියා, උද්යෝගිමත් කළා. එතෙකින් ද සෑහීමකට පත් නොවී දුරකථනයෙන් ද විමසා දිරිමත් කළේ Raj ය. වරෙක කමෙන්ටුවක්වත් දැමීමට නොහැකි ලෙස හිරවී සිටි අවස්ථාවේ අදාල තාක්ෂණික උපදෙස් ලබා දුන්නේ අභිත ය. කතන්දර සූරීන් ද ප්‍රහාරය බ්ලොගය එළිදක්වන තුරු බලා බලාසිටිමු යැයි කමෙන්ටුවක් දමා තිබුණා. sAm- ඔහු තමා මේ බ්ලොග් අවකාශයේ මාව වැඩියෙන්ම ඔසවා තබන්නට දායක වූ බ්ලොග් කරුවා. මේ සියල්ල අතර අකාලයේ අපෙන් වෙන්ව ගිය ඔබා අයියා ද ගෞරවයෙන් මතක් කරමි.
                       ඉතින් මිතුරු - මිතුරියනි, මමත් ඔබගේ අනු දැනුම ඇතිව මගේ මොන්ටිසෝරි අවධිය පසුකොට  බ්ලොග් අවකාශයේ 1වසරට පා තැබුවා. පෙරදී විමසා මා දිරිමත් කළා සේම ඉදිරියටත් මට අවශ්‍ය සහයෝගය ඔබ හැමෝගෙන්ම ලැබේවියැයි කියා විශ්වාස කරනවා.

හැමෝටම බොහොම ස්තූතියි.....!!!!!