
ඒ ’89 නොවැම්බර්
මස 13 වනදා විය යුතුය. අඳුර
වැටීගෙන එන විටම නිවසට කඩා වැදුන හමුදා සොල්දාදුවෝ මා වෙනුවට මගේ තාත්තා
අත්අඩංගුවට ගත්හ. මවගේ ද නැගණියගේ ද විලාප තැබීම් වලින් ද විරෝධතාවයෙන් ද ඵලක්
නොවිණි. කෙසේ වෙතත් තාත්තාගෙන් කිසිදු විරෝධතාවයක් එල්ල නොවීය. හේ සිදුවන ඕනෑම
දෙයකට මුහුණදීමට හිත හදාගත් සෙයකි. ( ඔහු ද හිටපු හමුදා සොල්දාදුවෙකි)
අත්අඩංගුවට ගත් තාත්තාගේ දෑස් ද දෑත් ද හමුදා රථයට ඇතුළු කිරීමට පෙර බැඳ දැමිණි. ඉන් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොහේටදැයි
කිසිවෙකුටත් නිනව්වක් නොවීය. එහෙත් ප්‍රදේශයේ එ. ජා. ප ක්‍රියාකාරීන් එය දැන
සිටින්නට ඇත.
ගමේ
එ. ජා. ප. ශාඛා සමිතියේ සභාපතිවරයා මගේ පියාගේ හොඳම මිතුරෙකි. ඔහු මේ සිදුවීම් කෙරෙහි පක්ෂග්රාහී නොවීය.,
උපේක්ෂා සහගත විය. (කැරළිකරුවන් පිළිබඳ ඔත්තු සැපයීම හා තරුණයන්ගේ නාමලේඛන ඝාතකයින් වෙත ලබා
දීම ඔහුගෙන් සිදු නොවිණි. එය සිදුකළේ එම සමිතියේ ම නිලධාරින් වූ ගැහැණුන් දෙදෙනෙකු
විසිනි). ඔහු ඔහුගේ මිතුරා ගැන සොයා බලන්නට ඇත. එහි ප්‍රතිඵලයක් විදියට තාත්තාව රඳවා තබා ඇති ස්ථානය පිළිබඳ හෝඩුවාවක් ලබා
ගැනීමට හැකි විය. ඒ අනුව ක්‍රියාකාරී වූ පියාගේ මිතුරන් එවකට පාර්ලිමෙන්තු මන්ත්‍රී
වරයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා හරහා කළ බලපෑම් හේතුවෙන් සතියකට පමණ පසු අළුයම්
කාලයේ අවිස්සාවේල්ලට නුදුරු “දිවුරුම්පිටිය වත්තේ” කිසියම් තැනක දී දෑස් හා දෙඅත්
බැඳ මුදාහැර තිබුණි.
එතැන් සිට අනුමාන වශයෙන් පාර නිශ්චය කරගෙන ඇවිද
ආ ඔහු කෙසේ හෝ දිවුරුම්පිටිය රාත්‍රී හෝටලය අසලට පැමිණ තිබුණි. එහි දී, බණ්ඩාරවෙල
සිට කොළඹ ට එළවළු රැගෙන යන කාරුණික ලොරි කරුවකු හා ඔහුගේ සහායකයා විසින් පියාගේ
දෑස් හා දෑත් නිදහස් කර හෝටලයට රැගෙන ගොස් ආහාර ලබා දී ආපසු නිවසට ඒම සඳහා මුදල් ද
ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඒ වන විට ඔහු ලද වද හිංසා හේතුවෙන් කතා කිරීමට නොහැකි
වී තිබුණි. සියලු සංවාද සිදු වී ඇත්තේ ලිඛිතවය. ( පසුව හිතවත් වෛද්‍යවරයෙකුගෙන් ලද
ප්‍රතිකාර හේතුවෙන් කතා කිරීමේ හැකියාව නැවත ලැබිණි).
කෙතරම්
වධ බන්ධනයට ලක්කළද තාත්තා මා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොකළේය. එකම දේ
දිගටම කියමින් වධකයින් වෙහෙසට පත් කරන්නට ඔහුට හැකි විනි. යම් වචනයක් ඔහුගෙන්
ගිලිහුනිනම්, ඒ මොහොතේ වධකාගාරය ආසන්නයේම ප්‍රදේශයක සිටි මා නිසැකවම අත් අඩංගුවට පත්වෙනු ඇත.
**************
වධකාගාරයේ සිටි කාලයේ දී
ඔහුට ආහාර ලබා දී තිබුණේ දවසකට එක් වරක් පමනී.
අනෙකුත් සැක කරුවන්ට එසේවත් නොලැබුණු බව පසුව ඔහු පැවසීය. වරෙක පියා වතුර
ඉල්ලා සිටි විටෙක සුළු වතුර ප්‍රමාණයක් ඔහුට ලැබුණ ද අනෙකුත් සැක කරුවන්ගේ කටට
මුත්‍රා කිරීම හැර වතුර ලබා දී නොතිබිණි. ඔවුන් බොහෝ දෙනෙකු පසුව ඝාතනය කරන්නට ඇත.
එහි දී දිවි ගලවාගත් දෙදෙනෙකු පසුව බූස්ස රැඳවුම් කඳවුරේ දී මෙම ලියුම් කරුට හමු
විය.
මෙම වධකාගාරය පවත්වාගෙන ගියේ; හමුදාව
- ඇහැලියගොඩ පොලීසිය හා ප්‍රදේශයේ එ. ජා. ප මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායම ඒකා
බද්ධවය. අදාල ගොඩනැගිල්ල ලබා දී තිබුණේ, හිටපු එ.ජා.ප පලාත්සභා මන්ත්‍රීවරයෙකුගේ
පියා විසිනි. මේ වන විට එහි කොමර්ෂල් බැංකු ශාඛාවක් පවත්වාගෙන යන අතර එවකට එය “.........වතී
.....නායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව” ලෙස නම් කෙරී තිබුණි. සත්තකින්ම එහි “අනුස්”
සහ සම්මන්ත්රණ තිබුණේ නැත.
මතු සම්බන්දයි......
ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.