2012/07/30

තාත්තා; ප්‍රාණ ඇපකරුවකු ලෙස පළමු වරට.......


හු එවකට අවුරුදු 53ක් වූ මැදි වියේ මිනිසෙකි. ව්‍යාපාරය කෙරෙහි කැමැත්තක් ඔහු තුළ තිබුණ ද ඔහු එහි සාමාජිකයෙකු නොවීය.  එහෙත් වාමාංශික දේශපාලනය කෙරෙහි විශ්වාසය තැබූවකු විය. එහෙයින්ම ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් ගැන ඔහුට විවේචන තිබුණි. නමුත් විරුද්ධ නොවීය. මෙය අවිධිමත්ව වුව ද විය යුතුම දෙයක් බව ඔහුගේ ද ඔහුගේ මිතුරන්ගේ ද පිළිගැනීම විය. ( ඒ වන විට රටේ පොදු ජන මතයද ඊට සමපාත විය) කේසේ වෙතත් මේ මිනිසකු දණ්ඩනයට ලක්කරන්නට තරම් වරදක් නොවේ., එහෙත් එය සිදුවිය.......
               ඒ 89 නොවැම්බර් මස 13 වනදා විය යුතුය. අඳුර වැටීගෙන එන විටම නිවසට කඩා වැදුන හමුදා සොල්දාදුවෝ මා වෙනුවට මගේ තාත්තා අත්අඩංගුවට ගත්හ. මවගේ ද නැගණියගේ ද විලාප තැබීම් වලින් ද විරෝධතාවයෙන් ද ඵලක් නොවිණි. කෙසේ වෙතත් තාත්තාගෙන් කිසිදු විරෝධතාවයක් එල්ල නොවීය. හේ සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට හිත හදාගත් සෙයකි. ( ඔහු ද හිටපු හමුදා සොල්දාදුවෙකි)
                                      අත්අඩංගුවට ගත් තාත්තාගේ දෑස් ද දෑත් ද හමුදා රථයට ‍ ඇතුළු කිරීමට පෙර බැ දැමිණි. ඉන් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොහේටදැයි කිසිවෙකුටත් නිනව්වක් නොවීය. එහෙත් ප්‍රදේශයේ එ. ජා. ප ක්‍රියාකාරීන් එය දැන සිටින්නට ඇත.
                             ගමේ එ. ජා. ප. ශාඛා සමිතියේ සභාපතිවරයා මගේ පියාගේ හොම මිතුරෙකි. ඔහු මේ සිදුවීම් කෙරෙහි පක්ෂග්‍රාහී නොවීය., උපේක්ෂා සහගත විය. (කැරළිකරුවන් පිළිබ ඔත්තු සැපයීම හා තරුණයන්ගේ නාමලේඛන ඝාතකයින් වෙත ලබා දීම ඔහුගෙන් සිදු නොවිණි. එය සිදුකළේ එම සමිතියේ ම නිලධාරින් වූ ගැහැණුන් දෙදෙනෙකු විසිනි). ඔහු ඔහුගේ මිතුරා ගැන සොයා බලන්නට ඇත. එහි ප්‍රතිඵලයක් විදියට තාත්තාව රවා තබා ඇති ස්ථානය පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව ක්‍රියාකාරී වූ පියාගේ මිතුරන් එවකට පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා හරහා කළ බලපෑම් හේතුවෙන් සතියකට පමණ පසු අළුයම් කාලයේ අවිස්සාවේල්ලට නුදුරු “දිවුරුම්පිටිය වත්තේ” කිසියම් තැනක දී දෑස් හා දෙඅත් බැඳ  මුදාහැර තිබුණි.
                     එතැන් සිට අනුමාන වශයෙන් පාර නිශ්චය කරගෙන ඇවිද ආ ඔහු කෙසේ හෝ දිවුරුම්පිටිය රාත්‍රී හෝටලය අසලට පැමිණ තිබුණි. එහි දී, බණ්ඩාරවෙල සිට කොළඹ ට එළවළු රැගෙන යන කාරුණික ලොරි කරුවකු හා ඔහුගේ සහායකයා විසින් පියාගේ දෑස් හා දෑත් නිදහස් කර හෝටලයට රැගෙන ගොස් ආහාර ලබා දී ආපසු නිවසට ඒම සඳහා මුදල් ද ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඒ වන විට ඔහු ලද වද හිංසා හේතුවෙන් කතා කිරීමට නොහැකි වී තිබුණි. සියලු සංවාද සිදු වී ඇත්තේ ලිඛිතවය. ( පසුව හිතවත් වෛද්‍යවරයෙකුගෙන් ලද ප්‍රතිකාර හේතුවෙන් කතා කිරීමේ හැකියාව නැවත ලැබිණි). 
            කෙතරම් වධ බන්ධනයට ලක්කළද තාත්තා මා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොකළේය. එකම දේ දිගටම කියමින් වධකයින් වෙහෙසට පත් කරන්නට ඔහුට හැකි විනි. යම් වචනයක් ඔහුගෙන් ගිලිහුනිනම්, ඒ මොහොතේ වධකාගාරය ආසන්නයේම ප්‍රදේශයක සිටි මා  නිසැකවම අත් අඩංගුවට පත්වෙනු ඇත.

                                   **************
                       වධකාගාරයේ සිටි කාලයේ දී ඔහුට ආහාර ලබා දී තිබුණේ දවසකට එක් වරක් පමනී.  අනෙකුත් සැක කරුවන්ට එසේවත් නොලැබුණු බව පසුව ඔහු පැවසීය. වරෙක පියා වතුර ඉල්ලා සිටි විටෙක සුළු වතුර ප්‍රමාණයක් ඔහුට ලැබුණ ද අනෙකුත් සැක කරුවන්ගේ කටට මුත්‍රා කිරීම හැර වතුර ලබා දී නොතිබිණි. ඔවුන් බොහෝ දෙනෙකු පසුව ඝාතනය කරන්නට ඇත. එහි දී දිවි ගලවාගත් දෙදෙනෙකු පසුව බූස්ස රැඳවුම් කඳවුරේ දී මෙම ලියුම් කරුට හමු විය.
            මෙම වධකාගාරය පවත්වාගෙන ගියේ; හමුදාව - ඇහැලියගොඩ පොලීසිය හා ප්‍රදේශයේ එ. ජා. ප මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායම ඒකා බද්ධවය. අදාල ගොඩනැගිල්ල ලබා දී තිබුණේ, හිටපු එ.ජා.ප පලාත්සභා මන්ත්‍රීවරයෙකුගේ පියා විසිනි. මේ වන විට එහි කොමර්ෂල් බැංකු ශාඛාවක් පවත්වාගෙන යන අතර එවකට එය “.........වතී .....නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව” ලෙස නම් කෙරී තිබුණි. සත්තකින්ම එහි “අනුස්” සහ සම්මන්ත්‍රණ තිබුණේ නැත.

මතු සම්බන්දයි......

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.

2012/07/21

‘88-89 මරණයේ දේශය ගැන...


කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන තිබුණි. දූෂිත මිනීමරු පාලකයින්ට කිසිවක් පාලනය කරගත නොහැකි විය. තරුණයින් අත්අඩංගුවට ගෙන මරාදමමින් භීෂණය වපුරා කැරළිකරුවන් බිය වැද්දීමේ ක්‍රමය අසාර්ථක වී තිබුණි. බොහෝවිට අත්අඩංගුවට ගෙන මරා දැමුවෝ පැවති පාලනයට විරුද්ධවූවන් වුව ද කැරළි කරුවෝ නොවීය. තවදුරටත් සිය පාලනය පවත්වාගෙන යාමටනම්  කෙසේ හෝ කැරැල්ල මර්දනය කළ යුතු   තැනට ආණ්ඩුව පත්විය. එයට අලුත් අලුත් අත්හදාබැලීම් එක් වී ක්‍රියාවට නැගින.

1.  එ.ජා.ප ප්‍රාදේශිය නායකයන් විසින් ලබාදෙන නාම ලේඛනයට අනුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.

2.        බිල්ලා මගින් කැරළිකරුවන් හඳුනා ගැනීම.

3.   අත්අඩංගුවට ගැනීමට නොහැකි කැරළිකරුවන් වෙනුවට ප්‍රාණ ඇපකරුවන්    අත්අඩංගුවට ගැනිම.

                 පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බි දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද .... ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.
                  ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය.  ජීවිතය ඉල්ලා  යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ සියල්ල මධ්‍යයේ වුව ද කැරළිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මදකට හෝ අඩු වූ බවක් දක්නට නොවීය. සිදු වූයේ ඒවා තව තවත් වර්ධනය වීම හා බිහිසුණු වීම පමණකි. ඒ අනුව දෙවන ක්‍රියාමාර්ගය හෙවත් බිල්ලා මගින් කැරලිකරුවන් හඳුනාගනීමේ ක්‍රමයට වධකයින් අවතීර්ණ විය.
                     දෑසට පමණක් විවර දෙකක් තැබූ රෙද්දකින්  මුළු ඇගම වසා ලූ බිල්ලා  ලෙස පෙනී සිටියේ බොහෝවිට,

1.              ප්‍රාදේශිය එ.ජා.ප නායකයෙක්

2.              ග්‍රාම සේවක

3.              අත් අඩංගුවට ගත් කැරළිකරුවෙක්

                මෙම ක්‍රමය ක්‍රියාවට නගනුයේ බොහෝවිට නගරයේ ක්‍රීඩාපිටියක් වැනි ඉඩ කඩ ඇති ස්ථානයක දී ය. භීෂණය කෙතරම් උත්සන්න වී තිබුණ ද ඔබට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නගරයට යාමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක දී නගරයේ සැරිසරන්නන් සියල්ලම ක්‍රීඩා පිටියට ගාල්කර පෝලිම් ගස්සවා බිල්ලා ට පෙනෙන ලෙස ගමන් කරවයි. බිල්ලා තිරස්ව හිස වනන්නේනම් ඔබ නිදහස්ය. සිරස්ව හිස වනන්නේ නම්, ඒ ඔබ මෙලොව ජීවත්වන අවසාන දවස විය හැකියි.

             
               මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
                             වධකාගාර හා හමුදා කඳවුරු අසල  අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද  අදෝනාවලද නිමක් නොවීය. කිසා ගෝතමියක් නොමැති ගෙයකින් අබැටක් සොයා ගැනීම අපහසු විය.
                            මේ ’89 වසරේ අගභාගයයි, අරගලයේ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී හෝ ඝාතනය වී තිබුණි. ඒ අතර රෝහණ විජේවීරයන් ද උපතිස්ස ගමනායක, ආනන්ද ඉඩමේගම, උපාලි ජයවීර,එච්.බී. හේරත් වැනි ප්‍රධාන පෙළේ නායකයන් ද විය. මේ තත්ත්වය තුළ අරගලය පරාජය වන බවට තිසිදු සැකයක් නොවීය. සියළු සබඳතා ගිලිහුන කැරළි කරුවෝ කුඩා කණ්ඩායම් ලෙස තැන තැන හුදකලා සටන්වල නියැලිනි. ඔවුන් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගවී සිටි නිසා අත් අඩංගුවට ගැනීම පහසු නොවීය. එහෙත් මර්දනය සාර්ථක වන්නටනම් ඔවුන්ද  අත්අඩංගුවට ගතයුතුවිය. ඒ සදහා ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමේ තෙවන ක්‍රියාමාර්ගය ද ක්‍රියාවට නැගින.


මතු සම්බන්දයි.........

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න. 

2012/07/14

1 වසරට ඇතුල්වීම


ද මට සුවිශේෂ දවසක්, මගේ පළමු මරණයේ 22වන සමරුව යෙදී තියෙන්නෙ අදටයි. මේ මොන අපබ්‍රංශයක්දැයි ඔබට සිතෙනු ඇති. එහෙත් මෙය අපබ්‍රංශයක්ම නොවේ. මිනිහෙක් තමන්ගෙ ජීවිත කාලයේදි කීවරක්නම් මැරි මැරි උපදිනවා ඇද්ද ? මටත් ඉතින් ඒක එහෙමම තමයි.
                 ඒ 1990 ජූලි මස 14 වනදායි, මා කිසියම් ඬක් ඇසූ අවසන් දවසයි. ඒ එතෙක් අපව රඳවා සිටි කලපළුවාව රැඳවුම් කඳවුරේ සිට බූස්ස දේශපාලන රැඳවුම් කඳවුරට ඇතුළත්කළ  මොහොතේ දේශනය කළ කර්නල්වරයාගේ හඬයි. ඒ හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් ඈතින් ඇහෙන හඬක් සේ තුනී වී අවසානයේ සම්පූර්ණයෙන්ම නැතිවිය. ඉතින් එදා ඉඳලා මා ශ්‍රව්‍යාබාධිතයෙක්, අමුවටම කියනවනම් බිහිරෙක්, ඒක තමයි මගේ පළවෙනි මරණය.
          තවත් කාරනා දෙකක් නිසා ජූලි 14 මට වැදගත් වෙනවා. එකක් රෝහණ විජේවීරගේ උපන්දිනය. අනෙක, මහා මර්දනයෙන් පසුව  ජ.වි.පෙ ප්‍රසිද්ධ දේශපාලනයට ආ දවස (94 ජූලි 14). ඉතින් මගේ බ්ලොග් එක පටන්ගන්නත් අද දවස හොඳයි කියල හිතුනා.
                            මේ බ්ලොග් එකේ නම ප්‍රහාරයයි. මා බොහෝ දෙවල් දිහා බලන්නෙ විවෙචනාත්මකව වීමත්, තවමත් විශ්‍රාම නොගිය සටන්කරුවකු වීමත් නිසා ඒ නම ඊට හොඳින් ගැලපේයැයි සිතමි. එහි උප ශිර්ෂය ලෙස ‍යොදාගෙන ඇති මිනිසකු විනාශ කළ හැකිය - පරාජය කළ නොහැකිය යන්න අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද නවකතාවේ සමස්ථයම එකට කැටිකළ තනි වාක්‍යයයි. මගේ ජීවිතය අරබයා ද එය එසේම වන හෙයින් සුදුසු සංස්කරණයකින් පසුව එයම යොදා ගත්තා.­
               මේ බ්ලොගයේ දී දේශපාලන සිරකරුවකු ලෙස  පොලිස් වධකාගාරයේ ද, කලපළුවාව - බූස්ස රැඳවුම් කඳවුරුවල ද මැගසින් බන්ධනාගාරයේ ද ගෙවා දැමූ වසර 4 හමාරක ජීවිත කාලය පිළිබඳ අත්දැකීම් ඔබ හා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. බොහෝවිට මා දරන අදහස්  විකල්ප ධාරාවේ දේශපාලනය හා ගැටගැසී ඇති නිසා ඔබට කිසිසේත්ම එකගවිය නොහැකි අවස්ථා මෙහිදී හමු වේවි. එහෙත් ඒ ගැන නොසිතා ඔබගේ ප්‍රතිචාර ඍජුව දක්වන්න.
                මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ දේශපාලනය පමණක් නොවේ. පොතක් පතක් ගැන, මා කියවා රස විඳි කවියක් ගැන හෝ වෙනයම් සාහිත්‍යය කෘතියක් ගැන ඔබ හා අදහස් හුවමාරු කරගන්න බලාපො‍රොත්තු වෙනවා. මගේ වෘත්තීය ජීවිතයේත්, වසර 42 ක සමස්ථ ජීවිතයේත් ඔබට ගතයුතු යමක් ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සියළු දේ අපි බෙදා හදා ගමු.
                        හැබැයි මා වඩාත් සතුටු වන්නේ බ්ලොග් ලිවීමෙන් නොව, අන් අයගේ බ්ලොග් වල කමෙන්ට් කිරීමෙන් බව ඔබට කිවයුතුයි. ­එහෙත් බ්ලොග්කරුවන් ගනනාවකගේ බලපෑම් නිසා තවදුරටත් බ්ලොග් එකක් නොකර සිටීමට නොහැකි තත්ත්වයට මා පත්වුනා. පළමු වරට බ්ලොග්කරුවන්ගේ ගාලු සුහද හමුවේ දී නාකියාත් චාමික WP ත් බ්ලොග් එකක් කරන්න යැයි ඉල්ලා සිටියා. පසුව - වර්ණා, පොඩිමෑන්, රාජ්, සෙන්නා, වෙනි, අසරණයා, සුදික, ඊ මේල් කවිකාරි, මී ගොඩයා, පසන්, බට්ටා, චාර්මි.....(නාම ලේඛනය තව දිගයි) ­­නිතර විමසා සිටියා, උද්යෝගිමත් කළා. එතෙකින් ද සෑහීමකට පත් නොවී දුරකථනයෙන් ද විමසා දිරිමත් කළේ Raj ය. වරෙක කමෙන්ටුවක්වත් දැමීමට නොහැකි ලෙස හිරවී සිටි අවස්ථාවේ අදාල තාක්ෂණික උපදෙස් ලබා දුන්නේ අභිත ය. කතන්දර සූරීන් ද ප්‍රහාරය බ්ලොගය එළිදක්වන තුරු බලා බලාසිටිමු යැයි කමෙන්ටුවක් දමා තිබුණා. sAm- ඔහු තමා මේ බ්ලොග් අවකාශයේ මාව වැඩියෙන්ම ඔසවා තබන්නට දායක වූ බ්ලොග් කරුවා. මේ සියල්ල අතර අකාලයේ අපෙන් වෙන්ව ගිය ඔබා අයියා ද ගෞරවයෙන් මතක් කරමි.
                       ඉතින් මිතුරු - මිතුරියනි, මමත් ඔබගේ අනු දැනුම ඇතිව මගේ මොන්ටිසෝරි අවධිය පසුකොට  බ්ලොග් අවකාශයේ 1වසරට පා තැබුවා. පෙරදී විමසා මා දිරිමත් කළා සේම ඉදිරියටත් මට අවශ්‍ය සහයෝගය ඔබ හැමෝගෙන්ම ලැබේවියැයි කියා විශ්වාස කරනවා.

හැමෝටම බොහොම ස්තූතියි.....!!!!!