2012/08/14

තාත්තා; නැවතත් ප්‍රාණ ඇපකරුවකු ලෙස....


තාත්තා  එක් වධකාගාරයකින් නිදහස් වී සතියක් ඉකුත්වීමටත් මත්තෙන් නැවතත් ඉංගිරිය පොලීසියෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්අඩංගුවට ගත්තා. කුමන හෝ හේතුවක් නිසා ඔහුට එහිදී පහරදීම් සිදුනොවූ අතර එදිනම මුදා හැර තිබුණා.
                        (මේ කාලයේ දී මා, රත්තනපුර ට නුදුරු ප්‍රදේශයක තවත් පිරිසක් සමග ආරක්ෂිතව සැඟවී සිටියා. දවල් කාලයේ ගගේ මැණික් ගරන අනෙකුත් ගැරුම්කරුවන් මෙන් අප ද මැණික් ගැරීමේ නිරතව සිටියෙමු. කිසිවෙකුගේ හෝ සැකයට භාජනය නොවී අපගේ වියදම් පිරිමසා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ද ඉන් ලැබුණි. එහෙත් රාත්‍රී කාලයේ දී ආරක්ෂාව තහවුරු කරගතයුතු විය. මේ සහා විවිධ උපාය උපක්‍රම භාවිතා කළෙමු. ඒ ක්‍රමෝපායන් ඉතා සාර්ථක විය. මා සමග එහි සිටි වෙනත් කිසිවෙකුටත් කරදරයක් නොවිණි. තාත්තා ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්අඩංගුවට නොගත්තානම්  කිසි දිනෙක මා අත්අඩංගුවට පත් නොවෙනු ඇත.)
                            තාත්තා ඉංගිරිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැර  සති දෙකක් ඉක්ම ගොස් තිබුණි. එක් පාන්දර යාමයක බල්ලන්ගේ බිරුම් හ මැද නිවසට කඩා වැදුනේ අවිස්සාවේල්ල පොලීසියේ වධක කණ්ඩායමේ පිරිසකි. කිසිදු විමසීමකට ඉඩ නොතබා නිදි ඇ‍‍දේ සිටි තාත්තා  ඇඳිවත පිටින්ම නැවතත් අත්අඩංගුවට ගැණුනි.
                       එකෙනෙහිම තවත් කණ්ඩායමක්  මගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණේ, මා ඔහුගේ නිවසේ සගවාගෙන සිටියේ යැයි යන චෝදනාව පදනම් කරගෙනය. ඔහුට ද බොහෝ සේ පහර දී නමුත් පොලීසියට ගෙන නොගොස් අතරමග දී මුදා හැර තිබුණි.
                   තාත්තා අත්අඩංගුවටගත් වධකයෝ, එතැන් සිටම  පහරදෙමින් ඔහුව රැගෙන ගියහ. (උදළුමිටක් කැඩෙන තුරුම ඔහුට පහර දී තිබුනි) ඒ මොහාතේ ම මගේ නම ම තිබූ තවත් අයෙකු ද අත්අඩංගුවට ගෙන පහර දී අතරමග දමා ගොස් තිබුණි. (ඔහු ප්‍රදේශයේ ප්‍රබල එ.ජා.ප සාමාජිකාවකගේ පුත්‍රයෙකි. හේ ගමේ පාසලේ දී ලියුම්කරු සමග එකම පන්තියේ එකට අකුරුකළ අයෙකු වුව ද පසු කාලයේ දී ඔහු හා කිසිදු හිතවත් කමක් නොවීය. ඔහුව අත්අඩංගුවට ගැනීමට තිබූ එකම හේතුව, ලියුම්කරුගේ නම ම ඔහුට ද තිබීමය).
                       පොලීසියට රැගෙන ආ තාත්තා සමග තවත් ප්‍රාණ ඇපකරුවන් රැසක් විය. ඉන් එක් අයෙක් සිය සැමියා වෙනුවට රැගෙන ආ දරුවකු බිහිකිරීමට ආසන්න කාලයේ සිටි ගැබිණි මවකි. බොහෝ වියපත් පියෙක්, සිය මුනුපුරා වෙනුවට රැගෙන විත් තිබුණි. ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ වෙද මහතෙකු රැගෙන විත් තිබුණේ ඔහුගේ පුත්‍රයා වෙනුවටය. අවුරුදු 12ක පමණ වයසැති කුඩා  පිරිමි ළමයෙකු සිය නිවසේ සැඟවී සිටියේ යැයි කියන ඥාති සහෝදරයෙකු වෙනුවෙන් දඬුවම් විඳීය. නම කියූ පමණින් මුළු රටම දන්නා අවිස්සාවේල්ලට නුදුරු ප්‍රදේශයක ප්‍රසිද්ධ කිවිඳියක රැගෙනවිත් තිබුණේ ඇගේ පුත්‍රයා වෙනුවටය. ඇය ද ම්ලේච්ඡ වධබන්දනයට ලක්කර තිබිණි.

පොලිස් වධකාගාරය.....

           වධකාගාරය ලෙස  භාවිතා වූ‍යේ, පොලිසියේ ගරාජයයි. එය වධකයින්ගේ විනෝදාගාරය ද විය. මත්පැනින් හොින් සන්තර්පනය වූ වධකයෝ, සැකකරුවන් ද ප්‍රාණ ඇපකරුවන් ද සිය බයිට් එක බවට පත්කරගත්හ. රබර් නල ද වියළූ ගවලිඟුවකින් සාදා ගත් කසයක් (මෙය HP එක නමින් හැඳින් විනි) ද විකට් පොලු ද ගැල්වනයිස් බට ද මොවුන්ගේ ප්‍රහාරක අවි ලෙස භාවිතා විය. වධක කණ්ඩායම වූයේ 8 දෙනෙකුගෙන් පමන සමන්විත පිරිසකි. මොවුන් නිල ඇුම් භාවිතා නොකළහ. සිවිල් ඇඳුම ද මුහුණ පුරා වැවුන රැවුල ද මොවුන්ගේ පොලිස් අනන්‍යතාවය සගවාලීය. 
              වධ දීමේ දී, දෑතේ මහපට ඇඟිලි එකට එක්කර නයිලෝන් ලණුවකින් බැ බාල්කයේ එල්ලා පහරදීමේ ක්‍රමය මොවුන් වඩාත් කැමති වධකාංගය විය. මුනින් අතට බිම දමා දෙපා මත නැග දෙපතුලට පොල්ලකින් පහර දීම තවත් එවැනි වධකාංගයකි. (එය පසඟ පිහිටුවීම ලෙස නම් කෙරිණි). තවත් ධර්ම චක්‍රය දැමීම ඇතුළු වධක ක්‍රම තිබුණ ද මෙහිදී ඒවා භාවිතා නොවුණි.  
                මේ කුමන ක්‍රමයකින් වුව ද ඔවුන් බලාපොරොත්තුවන්නේ ජීවිතය ඉල්ලා යදින යැදුම්ය.... මරණ බියෙන් නගන ලතෝනිය...... වැලපුම් ය.... වැඳ වැටීම්ය......මෙයින් ඔවුන් සතුටට පත්වේ. ඔබෙන් අසන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක් වුව ද එමගින් ඔවුන් සෑහීමකට පත්නොවේ.
                 තාත්තාගෙන් අසා ඇත්තේ  මා සිටින ස්ථානයයි, එය නොදන්නා බව කීව ද පහරදීම් නතරවන්නේ නැත. දෙවනුව මගේ ඡායාරූපයක් පෙන්වා ....මේ පුතා නේද ....? යැයි විමසූ විට  ...නෑ, ඒ පුතාගේ යාළුවෙක්..... යැයි  ඔහු පවසා ඇත. (එය අසාර්ථක උත්සාහයක් වුව ද එයිනුත් ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ මා ආරක්ෂා කිරීම විය යුතුය) වධකයෝ ඉන් වඩාත් කෝපාවිෂ්ට විය. පහරදීම් වඩාත් නරක අතට හැරුණි.
                          කෙසේ වෙතත් තාත්තා ට එල්ලා පහරදීමක් නො‍කෙළේය. එහෙත් පොලුවලින් පහර දී ඉදිමී තිබූ ඇඟට ම රබර් නලයෙන් පහරදීම නිසා සම පුපුරා දැඩි සේ තුවාල ඇතිවිය. ඒවායෙන් ගලා ආ ලෙයින් ඇඳ සිටි සරම සම්පූර්ණයෙන්ම තෙත් වී තිබුණි. (වධකාගාරයෙන් නිදහස් වීමෙන් පසු තාත්තාගේ ඇඳුම් මාරු කිරීමේ දී, සරම ගැලවූ පසු එය බිම නොවැටී තට්ටුවක් සේ රැඳී තිබුනේ වියලී ගිය ලේ නිසාය)
              අත්අඩංගුවේ සිටි කාලසීමාවේ දි තාත්තා හමු වී සුවදක් බැලීමට  කිසිවෙකුට හෝ අවසර නොවීය. පහර දීම නිසා බෙහෙවින් දුර්වලව සිටි ඔහුට තරමක් නිදහස් සැකකරුවන් විසින් උපකාර කර තිබුණි.
                               
                               *****************
                       මේ කාලය වන විට ව්‍යාපාරයේ  සියලුම නායකයින් මරාදමා හෝ අතුරුදහන් කර තිබුණි. දිවිගලවාගත් එකම නායකයා සෝමවංශ අමරසිංහ පමනි. ඔහු කෙසේ හෝ රටින් පැනගොස් ආරක්ෂා විය. මේ තත්වය තුළ දෙවනපෙළ හා පහළ සමාජිකත්වයට රජය විසින් නිකුත් කළ “නොමග ගිය තරුණයන්ට” බාරවන ලෙස කළ ඉල්ලීමට අවනතවන්නට සිදු විය. ඒ අනුව ලියුම්කරු ද පොලීසියට බාරකරවන පොරොන්දුව මත තාත්තාව නිදහස් කෙරිණි. 


මතු සම්බන්දයි.............

ප/ලි:  මේ ලිපිය කියවීමේ දී හැකිතරම් කාලයට සාපේක්ෂ වන්න.





141 comments:

  1. කාලයට සාපේක්ෂ වෙන්ට කීවත්, මනස හැදිලා තියෙන්නේ දැන් කාලේ විදියට හිතන්ට. අනෙක පිටරටක ජීවත් වෙන කෙනෙක් විදියට හිතන්ට.

    //ඔහු කෙසේ හෝ රටින් පැනගොස් ආරක්ෂා විය. මේ තත්වය තුළ දෙවනපෙළ හා පහළ සමාජිකත්වයට රජය විසින් නිකුත් කළ “නොමග ගිය තරුණයන්ට” බාරවන ලෙස කළ ඉල්ලීමට අවනතවන්නට සිදු විය.//

    බොහෝ වෙලාවට වන්දි ගෙවන්ට වෙන්නේ මේ වගේ කොටසකට වීම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..අසරණ වෙන කෙනා තවත් අසරණ වෙනවා..

      Delete
    2. කාලයට සාපේක්ෂ වීම හුගාක් අමාරුයි තමයි....මටත් එහෙමයි.

      //බොහෝ වෙලාවට වන්දි ගෙවන්ට වෙන්නේ මේ වගේ කොටසකට වීම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?//

      කිසියම් පොදු අරමුණක් වෙනුවෙන් යම් කටයුත්තකට සම්බන්ධවෙන ඕනම කෙනෙකුට සමාන වගකීම් තියෙනවා. ඉන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය බාරගැනීමට මුලදිම සූදානම්ව සිටිය යුතුයි. නායකත්වය පිට සියලු වගකීම් පැවරීමත් - නායකත්වය නිදොස් කිරීමත් කියන දෙකම වැරදියි.
      නමුත් නායකත්වය හිතුමතේ ගන්නා තීරණ සම්බන්ධයෙන් පහළ සාමාජිකත්වය වගකිවයුතු නෑ.

      Delete
  2. කියෙව්වෙමි..
    කිසිවක් නොකියමි :(

    ReplyDelete
  3. ධර්ම චක්‍රය දැමීම කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රාමාගෙ ලින්ක් එකෙන් ගිහින් බලන්න. ඒක තමයි "ධර්මචක්‍රය".... :/

      Delete
    2. මටත් තිබුන ප්‍රශ්නය.

      Delete
  4. Replies
    1. හ්ම්.....තමයි ඉතින්..... :)

      Delete
  5. මේ වගේ සිදුවීම් ගැන කොපමණ කියවල තිබුණත් ඒවාට මුහුණ දුන් කෙනෙක් කියන කොට ඇති වෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. මට මේ ගැන හිතෙන එක දෙයක් මේ දේවල්වලට අණ දුන් අයට වෙච්ච දේ රටම දන්නව. ඒත් ප්‍රාදේශීයව මේ විදියට මිනිස්සුන්ට වධ දුන්න අයට මොකද වුනේ කියල. සමහර විට ඔවුන් වියපත්ව අප අතරෙම සැඳෑ සමය ගතකරනවත් ඇති. තව සමහරු තවමත් සේවයෙ සිටිනව විය හැකියි. ඒත් ඔවුන්ට ඒ ගැන වරදකාරී හැඟීමක් අදවත් දැනෙනව ඇත්ද?

    ReplyDelete
    Replies
    1. එයින් සෑහෙන පිරිසක් නැගෙනහිර පළාතෙදි, අවුරුදු 13 - 14 කොලුකුරුට්ටන්ගෙ මන්න පිහි වලට ගොදුරුවෙලා තිබුණා ('90 අවුරුද්දෙ).....

      Delete
  6. තිත්ත ඇත්ත මිනිස්සුන්ට එහෙම (නො)මිනිස්සු වෙන්න පුළුවන්. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙනව කියලත් කියනවානේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, ඉතිහාසය වෙනස්කළයුත්යි කියන්නෙත් ඒ හින්දම තමයි...

      Delete
  7. සුමිත් කිව්වා වගේ නම් වැරදිලා ත්. ගොඩක් අයව අරගෙන ගිහින් තියෙනවා.. ඒක නම් ඒ මිනිස්සුන්ගේ කරුමේ තමයි..

    ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි "මැච් එක" ඉවර කළේ...... :/

      Delete
    2. ජේ. වී. පී. මිනීමරුවො දින්නත් මැච එක ඉවර කරන්නෙ එහෙම තමයි. වෙනසක් නෑ.

      Delete
  8. අප්පා... මේක කියවද්දි හිතෙනවා දැන් ඉන්න කප්පම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ තරමක් හොඳයි කියලා...

    ReplyDelete
    Replies
    1. බැලුවම ඒකත් ඇත්ත තමයි.... :)

      Delete
  9. ඇති යන්තම් අනෙක් එකත් දාල.
    කියෙව්වා කියන්න දෙයක් නැත ඊළඟ පොස්ටුව එනතෙක් බලා ඉමි.

    ReplyDelete
    Replies
    1. යන්තම් නේන්නං...draft කරලා දවස් කීපයක් වුනත් publish කරන්න බ්ලොගර් ඉඩ දුන්නෙ අදයි..... :)

      Delete
  10. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ........
    කියවන අපිට මෙහෙම දැනෙනවා නම් විදපු අයට කොහොම දැනෙන්න ඇද්ද එදා.....
    ඔය සාපෙ තාම ඉවර නෑ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.... සාපෙ තාම ඉවර නෑ.

      Delete
  11. /මේ තත්වය තුළ දෙවනපෙළ හා පහළ සමාජිකත්වයට රජය විසින් නිකුත් කළ “නොමග ගිය තරුණයන්ට” බාරවන ලෙස කළ ඉල්ලීමට අවනතවන්නට සිදු විය. ඒ අනුව ලියුම්කරු ද පොලීසියට බාරකරවන පොරොන්දුව මත තාත්තාව නිදහස් කෙරිණි. /

    ඉතින් මුලදිම බාර වුණා නම් මේ කිසි කරදරයක් නැහැනෙ. තමුන් නොමඟ ගිය බව දැන දැන නීතියෙන් කට්ටි පනින එකත් මේ වගේ වධයන් ඇති වීමේ හේතුවක්. රොහන විජේවීරම කිව්වනෙ සාමාජිකත්වයට ඇවිත් භාරවෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඒත් රෝහණ විජේවීර භාර උනේ නැහැනේ.. උලගල්ලේ තේ වත්තට වෙලා හිටියා මිස.. එහෙව් එකේ අනිත් අය භාර වෙන්නේ කොහොමද..

      Delete
    2. භාර වුණේ නැතුවට අහු වුණායින් පස්සෙ ඉතුරු සියළුම නායකයින් ඉන්න තැන ආණ්ඩුවට කියල, සාමාජිකත්වයට ඇවිත් භාර වෙන්න කියල ප්‍රකාශයකුත් දුන්නනෙ ටී. වී. එකෙන් ප්‍රචාරය කරන්න. ගමනායකත් අහු වෙච්චි වෙලාවෙ කිව්වලු "මේ හු.... අහු වුණු බව කලින් දන්නව නම් මට පැණ ගන්න තිබුණ" කියල. ඔන්න විප්වලවාදී නායකයො!

      Delete
    3. උබ මහින්ද අබේසුන්දරද බන්?
      කොහොමද බන් ඔච්චර අලි බොරු කෑත නෑතිව කියන්නේ?

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අම්මෝ..වයසක අයටත් මෙහෙම වද දුන්නෙ අම්මල තාත්තල නැති උන්ද?

    ReplyDelete
    Replies
    1. ඔය වද දීම දෙපැත්තටම වුණා. ඔය වධ විඳපු අපයෙ පුත්තුත් අනෙක් පැත්තට ඔය විදියටම අමානුෂික විදියට අහිංසකයො මරා දැම්මා.

      Delete
    2. වයසක අයට විතරක් නෙවෙයි ගැබිණි මව්වරුන්ටත් වද දුන්නා.

      Delete
  14. සිරිසේන කුරේගේ සම්බන්ධතාවය උඩ සෝමවංශ අමරසිංහ රටින් පිටවුනා කියල කතාවක් තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ.
    වධදිම් වලට මුල්වුන බොහෝ දෙනෙක් මියගියා. සුළු පිරිසක් තමයි ඉතිරිවුනේ. මට මතකයි භීෂණයෙන් පස්සෙ කාලෙ උතුරේ හමුදාව මැරෙනකොට අපේ ගම්වල මිනිස්සු සතුටු වුන හැටි. ඔය දේවල් මීටත් දරුණු විදියට උතුරු නැගෙනහිර සිදුවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ජාතියේ ලේ වලට මෙහෙම කලානම් වෙනත් ජාතියකට කුමන කථාද...

      Delete
    2. ඔව් රාජ් ඒක ඇත්තවෙන්න පුළුවන් දෙන්නා ඉතින් එක ගේදරින් ගෑණු ගත්ත දෙන්නනේ

      Delete
    3. සිරිසේන කුරේ සහ සෝමවන්ශ අතර නෑදෑ සම්බන්දයක් තියෙනවා......අටම්පහුර කීවා වගේ

      Delete
    4. සිරිසේන කුරේගෙ බිරිඳ සෝමවංශගෙ සහෝදරියක්.

      කොහොම වුනත් සෝමවංශ තවදුරටත් විදේශගතවම හිටියනම් ජ.වි.පෙ ට අද අත්වෙලා තියෙන ඉරනම අත්වෙන්නෙ නෑ.

      @රාජ්

      ඒ ඉතිරිවෙච්ච එකෙක් මෙතනටත් එනවා....



      Delete
    5. ,මම දන්න තරමින් නම් සුමිත් සහෝ සිරිසේන කුරේගේ බිරිදගේ සොහොයුරියක් තමයි සෝමවන්ශගේ බිරිද, ඒ කොහොම උනත් මෙය වාද කල යුතු කාරණාවක් නොවෙයි.

      Delete
    6. //ඒ ඉතිරිවෙච්ච එකෙක් මෙතනටත් එනවා....//

      සුමිත් අයියා ඇර තව කෙනෙක් එනවද? කවුද ඒ? ඒ කෙනාටත් ඇයි අත්දැකීම් බෙදා ගන්න බැරි?

      Delete
    7. විජේවීරගේ මස්සිනා කෙනෙක් මීට වසර දෙක තුනකට කලින් ලංකාවට ආවා නඩුවකට, උසාවිය ඉස්සරහ මිනිහා කෑගැහුවඵු සෝමවංශ විජේවීරව පාවා දීලා රටින් පැන ගත්තා කියලා.ඒ මනුස්සයාට සෝමවංශ වහ කඳුරු වගේලු.
      සෝමවංශ ලංකාවට ඇවිත් ඔය කොල හරිය මදෑ.... අන්තිමට දේශපාලණයේ දෙවන බලවේගය වෙන්න හිටපු පක්ෂය සහ මුලින්ම නැති කළා.

      Delete
    8. ඇත්තටම කියනවනම් සෝමවංශගෙ පැටිතිරිය ගැන මට අදහසක් නෑ. රතු රජරට කියන විදිය හරි ඇති. ඒ ඒක දේශපාලනයේදී එච්චර ලග නෑකමක් නෙවෙයි.

      Delete
  15. මොනවා කියන්නද හිතාගන්න බැහැ. ඊයෙත් දැක්කා පොලිස් හිංසනය නම්.පෝස්ටුවකින්ම දාන්නං

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විග්‍රහ කරන්න පුලුවන්ද ඇයි අපේ රටේම මේවාගෙ කැරලි ඇති වෙන්නෙ කියල.

      Delete
    2. මේවා අපේ රටේම විතරක් ඇතිවෙන දෙවල්නම් නෙවෙයි....

      අපට අදාලවනම් භූමි ප්‍රමානයට සාපේක්ෂව ජනඝනත්වය වැඩිම රටක් වීම ප්‍රධාන හේතුවක්....ඉතින් එකිනෙකා එක්ක බේරගන්න තියෙන "ගනු දෙනු" වැඩියි.

      Delete
    3. රුවන්ඩාවෙ සිදු උනේ ජෙනොසයිඩයක්.ලෝකෙ මුස්ලිම් කන්ඩායම් ඇතිවෙන්නෙ වෙනත් හේතුවලට. නමුත් කීප වරක් හිස එසවු JVP ගැන, එයට පාදක වූ හේතු ගැන ලිපියක් ඔබේ පාර්ශ්වයෙන් බලාපොරොත්තු වෙනවා. මේ ලිස්ට් එකෙ JVP නැහැනෙ. http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

      Delete
  16. කියෙව්වෙමි...

    ReplyDelete
  17. වයසක මිනිසුන්ට ඒවිදියට ගහන්න කොහොම මානසිකත්වයක් වුන්ට තියෙන්න ඇති ද?. කැරලිකාරයෝ භාරවුනානම් ඇයි එයාලට ගැහුවේ. තවමත් නිතිය එකමද නැත්නම් තිබුන පාලනේ වැරැද්ද නිසාද මෙහෙම දෙයක් සිද්ද වුනේ.

    ReplyDelete
    Replies
    1. // තවමත් නිතිය එකමද නැත්නම් තිබුන පාලනේ වැරැද්ද නිසාද මෙහෙම දෙයක් සිද්ද වුනේ. //

      නීතියට අනුව එදාය අදය කියල වෙනසක් නෑ බං, අත්අඩංගුවට පත්වෙච්ච සැකකරුවන්ට වධහිංසා කරන එක දඬුවම් ලැබිය යුතු වරදක්. අනෙක ඒ කාලෙනම් කිසිම නීතියකට අනුව නෙවි නෙව වැඩ සිද්ධවෙල තියෙන්නෙ. උඹට මතකද අර වත්තල (නම මතක හැටියට) ජෙරාල්ඩ් මර්වින් පෙරේරා අත්අඩංගුවට අරගෙන වධහිංසා කිරීම සිද්ධිය. වෙන කෙනෙක් වෙනුවට වැරදිල එයාව ගෙනියල තියෙන්නෙ. අන්තිමට ඒ මිනිස්සු දාපු නඩුවෙන් චූදිත පොලිස් නිලධාරීන් පරදින බව හොඳටම පේන්න තියෙද්දි නඩුවට කොළඹ එද්දි බස් එකේදිම ඒ මනුස්සයට වෙඩි තියල මැරෙව්ව. මට මතක හැටියට අන්තිමට කුලියට මිනීමරපු කට්ටිය හිරේ ගියා, පොලිසියෙ කට්ටිය යන්තම් ෂේප්වෙල තවම සේවයෙ යෙදිල ඉන්නව.
      අනික මම දන්න හැටියට සැකකරුවෙක් වෙනුවට ඔහුගෙ ඥාතියෙක් අත්අඩංගුවට ගන්නත් බෑ නීතියට අනුව. අර අවුරුදු දහයකට විතර කලින් නුවර ඩීඅයිජී ඔෆීස් එක වටකරල ඇමති පුතෙක් නටපු විකාරයෙන් පස්සෙ මෑන් හැංගිල ඉන්න දවස්වල ඔය ඩීඅයිජී මහත්තය එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක් ගියා පත්තරේක. ඒකෙදි මාධ්‍යවේදිය කෙලින්ම ඔය ගැන අහල තිබුණ. ඩීඅයිජී මහත්තයගෙ උත්තරේ “ඔබ මට කියන්නෙ ර....... මහත්තයව අත්අඩංගුවට ගන්න කියලද? ඒක කැලෑනීතිය, මම මෙතනට ආවෙ බොහොම අමාරුවෙන්. ඒක නැති කරගන්න මට බෑ“. ඔතන තියෙන ප්‍රශ්නෙ හැමෝම බලවතුන් නොවීම. ඒ කියන්නෙ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීම.

      Delete
    2. ස්තුතියි මචං. ඒ කතාව අහලා තිබුනේ නැහැ.

      Delete
    3. @DDT
      එදා මර්දනය ආවරනය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් හා හදිසි නීතියනුයි.

      ජෙරාඩ්ගෙ මස්සිනා අපේ යාළුවෙක්.... ඔය සිද්ධිය සම්බන්ද විරෝධතා වලට මාත් ගිහින් තියෙනවා.

      Delete
  18. පියෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දුකක් උහුලන්න ඇත්ද? පූජා ෆිල්ම් එකේ අමරදේවගෙ 'දරු දුක උහුලා' ගීතය මතක් උනා..
    http://youtu.be/jA3XfXdZx8I

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත්.....

      Delete
    2. අය්යෝ ඒක බලල අහල මට සංසාරේ කියා හිතුන.

      එක මනුස්සටෙක් වත් දැක්කනං පන අදින මගෙ අක්කගෙ පුතාට පන දෙන්ට කොළඹ මහ රෝහලේ ICU එකේ හිටපු කට්ටිය වෙච්ච මහංසිය, ඒක ඈත වීදුරුවෙං බලාහිටපු මගෙ අක්කගෙ මූණෙ තිබුන හැඟීම, ඒක අත්විඳපු කෙනෙක් කවදාවත් කාටවත් පහරදීමක් කරන්නෙ නැහැ.

      ජීවිතය අගයන්ට අපට උගන්වන්වා මදි අපේ සමාජය.

      Delete
  19. කාලේ අයංතෝ....උඹ මෙව්වා දියතට ලිව්වේ නැද්ද

    ReplyDelete
    Replies
    1. දියතෙ ත් මේවා ලියන්නෙ වධකාගාර අත්දැකීම් තියෙන කෙනෙක් තමයි.

      Delete
  20. ඇග හිරිවැටෙනවා මේ කථා අහනකොට... මම මට සාපේක්ෂව හිතුවොත්.. මා ඉතාමත් ආදරය කරන මගේ පියා මා වෙනුවෙන් වේදනා විදිනවා කියලා දැනගත්තම කොච්චර නම් කම්පනයක් ඇතිවෙනවද...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි, ඒත් මේක තමන්ගෙම අත්දැකීමක් විදියට කියවන්න එපා. යම්කිසි සිද්ධියක් හෝ කතාවක් විදියට කියවන්න.

      Delete
  21. //උඹ මෙව්වා දියතට ලිව්වේ නැද්ද//
    දියතට නොලිව්ව එකමයි කාරිය. රෝහණ විජේවීර කියන්නෙත් මනුස්සයෙක්නේ.. ඔහුට දුන්නු වධ බන්ධන දරාගන්න බැරිව ඔහු එවැනි ප්‍රකාශයක් නිකුත් කරන්න ඇති. අනෙක ඔහු කුටුම්භයක් ආරක්ෂා කල මිනිසෙක් ..ඔහුගේ බිරිද සහ දරුවන් හමුදාව භාරයේ තමයි හිටියේ. ඕනම මිනිසෙක් වගේ ඔහු තමන්ගේ දරුවන් ගැන කල්පනා කරන්න ඇති. ඒ යුගයේදි සිදුවූ දේවල් වල හැටියට ඔහුගේ පවුලට ඕනෑම දෙයක් සිදුවිය හැකිව තිබුනා. අමතක කරන්න එපා ප්‍රභාකරන්ගේ පවුලම සමූලඝාතනය කළා. දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීම ගැන මා සම්පූර්ණයෙන්ම එකග නමුත් ඔහුගේ දරුවන් ඇතුලුව පවුල ඝාතනය කිරීම අනුමත කරන්නට බැහැ. ඉතිහාසයේ එවැන්නක් විජේවීරගේ පවුලටද අත්විය හැකිව තිබුනා. දුටුගැමුණු යුගයේ ඉතිහාසය පිළිබදව සාඩම්බරයෙන් දොඩන්නන්ට අමතකව ඇති කාරණාව වන්නේ ගැමුණු රජු තම මියගිය සතුරාට ගෞරවයෙන් සැලකූ අයෙක් බවයි.
    සුමිත් නිරිඇල්ල කතාකරන යුගයේ පවා එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන උන් දෙපක්ෂයම ජන්මාන්තර එදිරිවාදීන් වශයෙන් එකිනෙකාට එරෙහිව කටයුතු කල ආකාරය අමතක කල හැකිව නෑ. සැබවින්ම එදා ලන්කාවේ සිදුවූයේ පන්ති සටනක්ද යන සැකයක් පවා මතුවෙයි. මක් නිසාද යත් දෙපක්ශයේම කාඩරයන් තූ තූ කොට විනාශ කොට දැමුවේ බොහෝවිට පන්තිමය සාධකය යටතේ ගත් කල තමන්ගේම පන්තියේ අයවලුන් බැවු රහසක් නොවේ. ඒ අර්ථයෙන් ගත් කල දෙපක්ශයේම කාඩරයන් තම ව්යාපාරය වෙනුවෙන් කුලී හේවායන් බවට පත්ව කටයුතු කලා යැයි මට සිතේ. ජවිපේ සාමාජිකයන් පවා තම අරගලය පිලිබදව සවිජ්ජානිකව සිටියා වුවත් ඔවුන් ආයුධ අත දරමින් කටයුතු කරනු ලැබූ ආකාරය ඒ සවිජ්ජානිකත්වය පිලිබදව සැක මතු කරවයි ..ඇත්ත වශ්යෙන්ම නම් මට අනුව නම් 88-89 ජවිපේ අරගලය වනාහී මෙරට පීඩිත පන්තියේ උවමනාවන් සපුරා ගැනීම උදෙසා මතුවූ අරගලයක් නොව තම ධනේශ්වර සිහිනයන් සැබෑ කරගැනීමට අපොහොසත් වූ සුළු ධනපති පන්තිය බලය අත්පත් කරගැනීම උදෙසා දියත් කළ සීග්‍රගාමී මෙහෙයුමකි .ජී.පී කීරවැල්ල තම නිබන්ධනයේ ජවිපේ අරගලය හදුන්වා දී ඇත්තේ "සුළු ධනේශ්වර පාන්තික ව්යාපාරයක් ලෙසිනි ".ඒ වෙනුවෙන් සුලුතරයක් වූ ඔවුන් පීඩිත පන්තියේ තරුණ කොටස් උපක්‍රමශීලී ලෙස ඔවුන් විසින් යොදා ගත්තේය. බලන්න වික්ටර් අයිවන්ගේ මේ පිළිබදව කරන විමසුම
    ""මෙම කරලි පිරිසිදු අර්ථයෙන් පන්ති අරගලයන් නොවූයේය. මෙම ක්‍රියාවලිය තුල තම සමාජ පීඩනයෙන් මිදීමේ අරමුනින් පැමිනි පීඩිත පන්තියේ තරුනයන් කැරැල්ලේ වඩාත් වැදගත්ම බලවේගය විය. කැරැල්ල තුල කැටිව තිබූ අසහනයන් අතර වඩාත්ම වේදනාකාරී අසහනයෙන් පෙලුනු අය ඔවුහු වූහ. ඒ නිසාම කැරැල්ලේ ප්‍රධාන සමාජ අඩිතාලම බවට පත්ව සිටියෝද ඔවුහුය. ඔවුන් කැරැල්ලෙ පෙරගමන්කරුවෝ නොවූවත් සටන් කරන සෙබළුන් ලෙස කැරැල්ලේ ප්‍රධාන බර කර ගැසූවන් වූවෝය. ඒ අර්ථයෙන් කැරැල්ලෙන් වැඩිම ජීවිත හානියක් හා දේපළ හානියක් වූවේද ඔවුන්ටමය.

    කොමෙන්ටුව දිග වැඩි වීම පිලිබදව සුමිත් සහෝදරයා සමාව ලබා දේවියැයි සිතනවා. මේ අදහස් කියාපෑමට මීට වඩා සුදුසු වේදිකාවක් හමුවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටළුවක් නෑ. මේ ගැන කතාකරන්න මෙතන සුදුසුම තැනක් තමයි.

      ඔබේ විග්‍රහය ගැන මගේ අදහස පසුව ලියන්නම්-මේ මොහොත කාර්යබහුලයි.

      Delete
    2. ඔව් ඔව් රෝහන විජේවීර ගූ කෑවා නම් ජේ. වී. පී. බයියන්ට ඒකත් රසවත් ආහාරයක් තමයි.

      මේ මහා විප්ලවවාදියා තමන්ගේ අණින් සංවිධානයේ පොඩි එවුන් මිනී මරමින් හොරකම් කරමින් වධ බන්ධන වලට ලක් වෙමින් සිටියදී කළේ මොකද්ද දන්නවාද? ඌ සැඟවෙන කොට ළමයි දෙකයි. හමුදාවෙන් අල්ලනකොට හයයි. සැඟවිලා හිටපු අවුරුදු හතරට ළමයි හතරයි. මාරයි නේ. දවස ගානෙ සොමියක් ගන්න ඇති. දැන් ඔය ජේ..වී. පී. බයියයා කියාවි ආතතිය වැඩිවෙලා ඒක ලිහිල් කර ගන්න කියලා.

      Delete
    3. ඇනෝ අපි දන්න කෙනෙක් බව නම් විශ්වාසයි. ඇයි ඒත් ඇනෝ ඇත්ත නමින් එන්නේ නැත්තේ? ඔබේ අදහස් වලට ඉඩක් නොදෙන්න තරම් සුමිත් අයියා මොන්ටිසෝරි බොළද බබෙක් නොවන බව ඇනෝ දන්නවා. එන්න කෙලින් කතා කරමු. ඇනෝ ගේ අදහස් වලට එකෙන් නිල පිළිගැනීමක් නිකම්ම ලැබෙනවා.

      Delete
    4. විශ්‍රාමික ත්‍රස්තවාදීන් සමඟ කරන ගනුදෙණු වලදී පරිස්සම් වෙමි. දත් හැළුණත් වෘකයා වෘකයාමයි.

      Delete
  22. කාලයට සාපේක්ෂ වුනත් මේවා සිදුවියයුතු දේවල් නෙවෙයි ශිෂ්ඨ සමාජෙක!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇත්ත,....ශීෂ්ඨ සමාජයක....!

      Delete
  23. ම්ම්ම්ම්.. අදත් ඇවිත් බලලා ගියා...

    ReplyDelete
    Replies
    1. ඒත් ඇති, මොකුත් නොලීවට අවුලක් නෑ..... :)

      Delete
  24. කවුරු කොහොම කීවත් රජයේ අනුග්‍රහය ලත් වදකාගාර වල තරම් මිනිසුන් ප්‍රමාණයක් විප්ලව කරුවන් අතින් මියගියේ නැහැ.ඒ දවස්වල වෙච්ච ඔක්කොම ඝාතන ගත්තත් විප්ලව කරුවන් අතින් උන ඝාතන සියයට පහකට වඩා අඩු අගයක් ගන්නා බව විශේෂයෙන්ම කියන්න ඕනා.විප්ලවකාරී තරුණයන්ගේ ගිණුමට බැර වෙච්ච බහුතරයක් ඝාතන ඔවුන්ගේ නමින් තමන්ගේ පුද්ගලික තරහවල් පිරිමහ ගත්ත අදමයන්ගේ වැඩ සහ විප්ලවය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කරන්න රජයෙන්ම කරපුවා.(බහුතරයක් ඒ දවස් වල මැරුණේ ශ්‍රී ලංකා කාරයෝ).

    ReplyDelete
    Replies
    1. //ඒ දවස්වල වෙච්ච ඔක්කොම ඝාතන ගත්තත් විප්ලව කරුවන් අතින් උන ඝාතන සියයට පහකට වඩා අඩු අගයක් ගන්නා බව විශේෂයෙන්ම කියන්න ඕනා//
      මේ ගණනය කිරීම් සිදු කළේ කවුරුන් විසින්ද යන්න පැහැදිලි කලොත් හොදයි නේද?

      Delete
    2. මම කිව්වේ දකුණේ විශේෂයෙන් මාතර සහ හම්බන්තොට දිස්ත්රික්ක වල තිබුන තත්වය.

      //ඒ දවස්වල වෙච්ච ඔක්කොම ඝාතන ගත්තත් විප්ලව කරුවන් අතින් උන ඝාතන සියයට පහකට වඩා අඩු අගයක් ගන්නා බව විශේෂයෙන්ම කියන්න ඕනා//

      හරි 20% කියමු

      ගණනය කිරීම වැරදි උනත් බොහෝ මරණ සිද්ද උනේ රජය පාර්ශවයෙන් සහ පුද්ගලික තරහවල් පිරිමසා ගැනීමට.සමහරු විප්ලවය නමින් හොරකම් කරා මම දන්නා කියන කීප දෙනෙක්ම ඉන්නවා එහෙම හොරකම් කරලා දියුණු වෙච්ච....

      Delete
    3. දැන් ඉතින් මෙහෙම නිකම් කියල හරියන්නෙ නැහැනෙ. කරුණාකර පිළිගත හැකි මුලාශ්‍රයක් දෙන්න.

      Delete
    4. @ මානවක
      //බහුතරයක් ඒ දවස් වල මැරුණේ ශ්‍රී ලංකා කාරයෝ.//

      ඒකෙත් යම් ඇත්තක් තියෙනවා. අපේ ලොකුඅම්මගෙ පුතා ශ්‍රී ලංකා ශාඛා සමිතියේ ලේකම්, ඔහුවත් හමුදාවෙන් මරා දැම්මා.

      Delete
  25. මිනිහෙක් තවත් මිනිහෙක්ගේ වේදනාව හඳුනාගන්නේ නැති වෙන තරමට උන්ගේ ඇස් පොට්ට වෙලා තියෙන්නේ උන්ගේ පව්කාරකම හින්ද වෙන්න ඇති. ඇත්තමයි සුමිත් අයියේ මේවගේ කතා කියවනකොට හිතට අමුතු හැඟීමක් එනවා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය විදියෙ හැගීම් තමයි අපවත් අරගලයට යොමු කළේ,

      කිසිම සාධාරන හේතුවකින් තොරව පාසල් සිසුන් ඝාතනය කළා, එවකට පාසල් සිසුන් වූ අපට හැගීම් විරහිත නිකමුන් හැටියට නිහඩව ඉන්න පුළුවන් වුනේ නෑ. ඉතින් අපිත් අරගලයේ කොටස් කාරයෝ වුනා.

      පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කළේ පාසල් තුලදිමයි. අපි ගිය ඉස්කෝලෙත් ඔය ඝාතනවලට විරුද්ධව උද්ඝෝෂණයක් තිබුණා. ඒකට වෙඩි තිබ්බෙ යූ එන් පී මැරයො,

      Delete
  26. ඔය වධදීම ගැන නම් අහලා තිබුනා.. ඕකෙ අනිත් පැත්තෙ තත්ත්වය කොහොමද සුමිත්.. ජීවීපී එකෙන් එහෙම කඳවුරු නඩත්තු කළාද ?

    මේක කියවද්දි අපි කාලයට නෙමේ ජාතියට සාපේක්ෂ වෙනවා කියලා තමා මට හිතෙන්නෙ.. අපේම අයට වධ දෙනකොට අපරාධයක් ලෙස දකින්නෙත්.. කොටින්ට වධදීම සාධාරණ විය යුතු ක්‍රියාවක් ලෙස අපි දකින්නෙත් ඒ නිසා වෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නත් අහන්නෙ මාර ප්‍රශ්න තමයි.
      ජේ වී පීයෙන් කදවුරු නඩත්තු කරනවා තියා තමන්වවත් නඩත්තුකරගන්න බැරුව හිටියෙ.
      අනික ජේ වී පී යෙන් මොකටද වද කදවුරු නඩත්තු කරන්නෙ....?

      නිරායුධ මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා වදදීලා මරනවා වගේ සෙල්ලං කොටි එක්ක කරන්න බෑ. ඔවුන් හිටියෙ හමුදාවටවත් නැති ආයුධවලින් සන්නද්ධ වෙලා. පොලිස්කාරයන් වෙනුවෙන් උන් පතරොමක්වත් නාස්තිකළේ නෑ. කම්මලේ හදපු මන්නපිහිවලින් කපල කොටල දැම්ම මිසක්. ඒ හින්ද එහෙයි මෙහෙයි සන්සන්දනය කරන්න යෑමේ තේරුමක් නෑ.
      කොටින්ටයි අපටයි එකම කාලෙක කදවුරුවලදි සලකපු විදිය ඉදිරි පෝස්ටුවකදි ලියවෙයි.

      Delete
    2. නෑ නෑ සංසන්දනය කළා නෙමේ.. ඔය දෙගොල්ලො සංසන්දනය කරන්ඩ බැරි බව මට වැටහෙනවා.. ජේවීපී එක කළේ විප්ලවයක්, කොටින් කළේ ත්‍රස්තවාදයා හරහා ගෙන ගිය බෙදුම් වාදී අරගලයක්.. හැබැයි ඔය දෙගොල්ලන්ගෙම එක සමාන කමක් තිබුනා නේද ? ඒ තමයි පවතින නීත්‍යානුකූලව පිළිගත් ආණ්ඩුවට එරෙහිව සටන් කිරීම. එතකොට ආණ්ඩුව තමන්ගෙ බලය මුදා හැරියෙ හමුදාව මාර්ගයෙන්.. මම කලින් කමෙන්ට් එකේදී විස්තර කළේ ඒ කාලෙ ඔය දෙජාතියෙම ප්‍රවෘත්ති ලැබෙනකොට මට දැනුන හැඟීම්..

      ඔය මර්දනය මේ ලෝකෙ කොයි රටටත් පොදුයි මම නම් හිතන්නෙ.. පවතින නීතිය අභිබවා කවුරු හරි නැගී සිටිනව නම් ඒ නීතියෙන් ඔවුන්ව මරදනය කරන්ඩ බැරිනම් අනිවාර්යයෙන් ඔතෙනට තල්ලු වෙනවා කියලා තමා මට නම් හිතන්නෙ.. උදාහරණයක් හැටියට අද අමෙරිකාවෙ ජේවීපී එක වගේ කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව නැගී සිටියොත් ඔවුන් මොකක් කරයි කියලද ඔබ හිතන්නෙ...

      Delete
    3. /ඔය දෙගොල්ලො සංසන්දනය කරන්ඩ බැරි බව මට වැටහෙනවා.. ජේවීපී එක කළේ විප්ලවයක්, කොටින් කළේ ත්‍රස්තවාදයා හරහා ගෙන ගිය බෙදුම් වාදී අරගලයක්./

      අපොයි නෑ. මේක තමයි අපේ ඔළු වලට කවලා තියෙන ලොකුම මිථ්‍යාව. මේ දෙගොල්ලම එක වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් රජයට විරුද්ධව අවි ගත්තු. නැතුව සිල් ගත්තු උපාසකයින් නෙවෙයි. මෙහෙම කියන කොට විශ්‍රාමික ත්‍රස්තවාදීන්ට නම් රිදෙනවා ඇති නමුත් ඒක තමයි ඇත්ත.

      Delete
  27. මේවා අහන්න අපි පව් කරලා තියනවා. දෙපැත්තේම අහිංසකයින් තමයි විඳවන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට......

      Delete
  28. හැමදාමත් වගේ ස්තුති සුමියා.

    අසන්නට තිබු ගැටළු කමෙන්ට් මගින් විසදා ගතිමි..ඉතිරිය බලා සිටිම් !

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලින් මමත් ඉගෙනගන්නවා......
      ඒක තමයි අපට තියෙන වාසිය....

      Delete
  29. අනේ මන්ද මොනවා කියන්නද කියල සහෝ ..

    ReplyDelete
    Replies
    1. මොනවත් නොකීවට කමක් නෑ....කියවපු එකම ඇති... :)

      Delete
  30. මම 'දිට්ඨ ධම්ම වේදණීය කර්ම' පඩිසන් දෙන හැටි ඇස් දෙකෙන් දැකල තියනවා. මෙහි චරිත බොහොමයකට ඒකම වෙන්නැති.

    අර දකුණු එක මහින්ද කෙනෙකුට වෙච්ච දේත් අගුලානේ පොලිස් නිවුටන් ට වෙන දේවලුත් අපි දැක්කනේ. නීතියෙන් බේරුනත් හෘද සාක්ෂියෙනුත් කර්මයෙනුත් බේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට ඔය දිට්ඨ ධම්ම මෙව්ව එක ගැන වැඩි වැටහීමක් නෑ.

      ඇත්ත, හෘද සාක්ෂියෙන් බේරුමක් නෑ. හැබැයි ඒ එහෙම එකක් තියෙනවනම් විතරයි.

      Delete
  31. කිසිම වැරැද්දක් නොකල වයසක තාත්තා කෙනෙක්ට බඩදරු අම්ම කෙනෙක්ට වධ දෙන්න මුන් ඉපදුනෙ අම්මලා තාත්තලාගෙන් නෙමෙයිද.

    ReplyDelete
  32. පියෙකුට තම දරුවන් වෙනුවෙන් කොපමණ වේදනාවාක් වින්ද දරා ගත් හැකිද ? යන්න මේ ලිපියෙන් පැහැදිලි වෙනවා. කිසිම දෙකට සම්බන්ද නැති අහිංසකයන් වූ අප පවා භීතියෙන් ගත කල කාලය මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවත් ලියමු - වෙනසකටත් එක්ක......

      Delete
  33. එක අතකට වසර 22 කට කලින් සිදුවූ මේ දේවල් ගැන දැන් කතාකරල වැඩක් නැහැ.අඩු වැඩි ලෙසින් දෙපාර්ශවයෙන්ම අහස පොලව නුහුලන අපරාධ සිදුවුණා.සිවිල් යුද්ධ ඇතිවෙන ඕනෑම රටක තත්වය ඔහොමයි.ඔබට හැකිනම් ඔබේ ප්‍රහාරය එදා සමුහ මිනී වලවල් විකුණමින් පැමිණ අද දක්වාම බලයේ සිටින්නන් වෙනුවෙනුත් යොමු කරන්න.

    ReplyDelete
    Replies
    1. මේකෙන් වැඩි වාසියක් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුව ..

      Delete
    2. @AnonymousAugust 14, 2012 11:10 PM,

      ඔබේ අදහසට එකඟයි. දෙපාර්ශ්වයෙන්ම ඝාතන සිද්ද වුණා. දෙපාර්ශ්වයෙන්ම වැරදිත් සිද්ද වුණා. අවුරුදු විසි ගණනකට පසු ඒවා ගැන කතා කිරීමෙන් කාටවත් ඵලක් නෑ. (කොටින්ම මේ ගෝත්‍රික සටනේ ප්‍රධාන හවුල්කරුවන් ජනතා විමුක්ති පෙරෙමුණ හා එක්සත් ජාතික පක්ෂය පසුගිය සමයේ එක වේදිකාවටත් ගොඩ වුණා. ඒ ඝාතන සිදුකළ හමුදාවේ සාමාජිකයකු වූ සරත් ෆොන්සේකා ජනාධිපති කරන්නටත් ජවිපෙ කටයුතු කළා.)

      නමුත් මට පෙනෙන විදියට යන්නේ වෙන ගේම් එකක්. ඒ ගේම් එකට මේ සිද්ධි පුනරුච්චාරණය අවශ්‍යයි.

      Delete
    3. @ AnonymousAugust 14, 2012 11:10 PM

      මේ ලිපිමාලාවෙ මම තාම ඉන්නෙ '89-90, තාම '94 ට ඇවිත් නෑ.

      Delete
  34. මේ අත්දැකීම් දවසක පොතක් හැටියට පලවෙනවා නම් ගොඩක් කැමතියි.ජීවිතය හිතන තරම් සුන්දර නෑ කියලා අපේ අනාගත පරපුරට කියන්න මේකත් හොඳ කතාවක් වෙවී ....මං ආසාවෙන් කියවන තවත් බ්ලොග් එකක් :)

    ReplyDelete
    Replies
    1. යෝජනාවනම් හොදයි, බලමුකො ඉදිරියේ දි.... :)

      Delete
  35. කියෙව්වෙමි. ඉතිරියත් කියවීමට බලා සිටිමි...

    ReplyDelete
    Replies
    1. රෙපා,..බොහොම ස්තූතියි.....!

      Delete
  36. කියවනවා ඇරෙන්න වෙන මොනා කියලා කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි....බොහොම ස්තූතියි....!!!

      Delete
  37. Replies
    1. කියවපු එකත් සෑහෙන දෙයක්..... :)

      Delete
  38. ඒ අදුරු යුගයට තවම මිනිස්සු බයයි. ඒකෙන්ම පේනවා මේ ජීවිතවල තිබුන වටිනාකම. ඒක රැකගන්න මොනවද නොකලේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි......!!!

      Delete
  39. කතාවත් පිලිතුරුත් සියල්ල කියවූයෙමි. පෙරහැරේ නොගොස් පිටතින් සිට එය නැරඹීමට වෑයම් කලෙමි. කීමට බොහෝදේ ඇත. මා උභ‍තෝකෝටික ප්‍රශ්ණයක පැටලී සිටිමි. හෙට පැමිණ එ ගැන ලියමි

    ReplyDelete
  40. මේ මොහොතේ සිට මේ බ්ලෙග් එකේ Anonymous කමෙන්ට් වලට ඇති ඉඩ අහුරා දැම්මා. කණගාටුවෙන් වුනත් වෙන කරන්න දෙයක් නෑ. කකාගේ පෝස්ට් එකට ඇනෝලා කරලා තියෙන දේ දැක්කම බ්ලොග් ලියන එක විතරක් නෙවෙයි, කියවන එකත් එපාවෙනවා.
    මගේ නම සම්බන්ද කරලා ඒකෙ මොනවහරි ලියලා තියෙනවා. මම ඊයේ රෑ තමා ඒ පෝස්ට් එක කියෙව්වෙ. ඒ හින්දා ලියපු දෙවල් මම දන්නෙ නෑ. කකා ඒවා කපලා,
    මින් පසු අන්අයගේ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙත් නෑ. කොට්න්ම කියනවනම් ඇනෝනිමස් සංකල්පයම ප්‍රතික්ෂේප කරනවා.

    ඇනෝ සංකල්පය උස්තැනක තියලා තියෙන්නෙ "කියන කෙනා නෙවෙයි වැදගත් කියන දේ" කියන අදහසින්නෙ.
    ඒක හරිනම් හරක්හොරෙකුට වුනත් ඇනෝ ඇවිත්, ගවඝාතනයේ තියෙන පාපකාරී බවත්- සොරකමේ ආදීනව ගැනත් අරුත්බර.... සුමධුර ධර්මදේශනාවක් කළහැකියි. ශ්‍රාවකයින්ට වැදගත්වෙන්නෙ "බණ" විතරක් නම් සාදුකාරයක් දීලා......සෝවාන් ආදී මාර්ගඵලත් ලබාගත හැකියි. ඒත් හරක්හොරෙකුගේ බණෙන් ඇති වැඩේ මොකද්ද....?

    ReplyDelete
  41. ඇනෝ කොමෙන්ට් වලට මම පුද්ගලිකව විරුද්ධ වුවත් ,මා හිතන්නේ එය උණුසුම් සන්වාදයකට තිබූ අවකාශය අහුරා දැමීමක්. සමහර ඇනොලා ඕපපාතිකයන් සේ ප්‍රතිචාර පළ කලත්,ඇතමුන් ඉතා වැදගත් මතයන් මේ සන්වාදයේදීත් පළකර තිබෙනවා. කෙසේ වෙතත් එය ඔබේ තීරණය.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් ඇහිරුවයි කියලා සජීවී සංවාදයකට බාධාවක් වෙලා නෑ. කමෙන්ට් මොඩරේට් කළොත් තමයි එහෙම බාධාවක් වෙන්නෙ.

      මෙතනදි යම් අසාධාරණයක් වෙන්නෙ ප්‍රොෆයිල් එකක් නැති අයට විතරයි.

      ඔබේ ප්‍රතිචාර එක් එක් මොහොතේ දී එක් එක් ඉසව් ඔස්සේ චලනය වනබව පෙනෙනවා.
      මේ, මෙම බ්ලොගයේම කලින් පෝස්ට් එකේ ඔබේ ප්‍රතිචාරයක්.....

      //සින්හල බැරි ඇනෝ ,,මුලින් භාෂාව තේරුම් ගන්න. දෙවනුව අපව කියවන්න. තෙවනුව ප්‍රොෆයිල් එකෙන් පැමිණ කොමෙන්ට් කරන්න.//

      Delete
    2. //ඔබේ ප්‍රතිචාර එක් එක් මොහොතේ දී එක් එක් ඉසව් ඔස්සේ චලනය වනබව පෙනෙනවා.//
      ඔබ තේරුම් ගෙන ඇති ආකාරය වැරදි බැව් මුලින්ම කිව යුතුයි සහෝදරයා. මම ඉතාම පැහැදිලිව කියා තිබෙනවා පුද්ගලිකව මා ඇනෝ කොමෙන්ට් වලට විරුද්ධ බව. නමුත් මම දැක්කා එක් ඇනෝවෙක් මේ සන්වාදයේදී ඉතා වැදගත් අදහස් පළකර තිබෙනවා.ඇනෝ කොමෙන්ට් වලට ඇති ඉඩකඩ ඇහිරීමෙන් සිදුවන්නේ ප්‍රොෆ්යිල් එකක් නොමැති ,,එහෙත් වැදගත් අදහස් පළකරන අයට සන්වාදයට සම්බන්ද වීමට ඉඩකඩ ඇහිරීයාම. ඒ අදහස් ප්‍රොෆයිල් එකෙන් පැමින හිකිස් ,,පටස් ගා යන අයගේ ප්‍රතිචාර වලට වඩා ඉතා වැදගත්.නමුත් ඇනෝ වෙසින් පැමින පුද්ගලික අරමුනු ඉටු කරගන්නා අයත් සිටිනවා ..ඔබට අව්ශ්‍ය නම් ඒවා ඩිලීට් කර දැමිය හැකියි. ඔබ උපුටා දක්වා ඇති මගේ කොමෙන්ටුව ගැන කියනවා නම් එය මගෙන් බාබ්කියු වෙන්නට ආශාදැයි විමසූ ඇනෝවෙකුට දුන් පිළිතුරක්.

      Delete
    3. මා නැවතත් මෙහි පලවූ ඇනෝ කමෙන්ට් පිරික්සා බැලුවා. එහෙත් ඔබ කියන "වැදගත් අදහස් පලකරන ඇනෝ" සොයා ගැනීමට නොහැකි වුනා.(අදාල කොමෙන්ටුවක් උපුටා දක්වන්න හැකිනම් ස්තූතිවන්ත වෙමි)

      ඇනෝ කමෙන්ට් ඇහිරීමේ අරමුණ මගේ මස් - ලේ ඉල්ලන මිනීමරු ඇනෝව වැළැක්වීම නෙවෙයි. එහෙම කරනවනම් මීට කලිනුයි ඒක කරන්නෙ. මට අවශ්‍යය මේකත් මහජන වැසිකිළියක් වීම වැළැක්වීමයි.

      මෙහිදී යම් අසාධාරණයක් වූයේ, AnonymousAugust 15, 2012 4:22 PM ඇනෝටයි. ඒ ගැන ඇත්තයම කණගාටුයි.
      ඉදිරියේදී තත්ත්වය යහපත් වුනොත් ඇනෝ බාධාව ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  42. ඇනෝ පහසුකමට මුවාවී බ්ලොග් ලෝකයම ගඳ ගස්සවන මේ උරුලෑවන් නිසා ඔබ වැනි බ්ලොග් රචකයන්ට වී ඇති හිසරදය මට තේරුම්ගත හැක.

    අප බොහෝ විට ඇනෝ වෙසින් එන්නේ හේතු කීපයක් නිසයි. දේශපාලනය වැනි සංවේදී මාතෘකාවකදී එය ප්‍රයෝජනවත්. අසාධාරණයට විරුද්ධව, තර්කයත්, සමහර අවස්ථා වල උත්ප්‍රහාසයත් පාවිච්චි කලමුත්, අසභය වදන්, ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වය ඇවිස්සීම අපේ ක්‍රමය නොවේ.

    රතුරජරටට ස්තූතියි. මම හිතන්නේ,අප අතර පරස්පර මතිමතාන්තර තිබිය හැකි නමුත් අපි හැමෝටම තියෙන්නේ එකම අරමුණක් , මොකක්ද ඇත්තටම වුනේ කියන එක දැන ගන්න. ඔබේ කතාව හරහා මගේ සියලුම ප්‍රශ්ණවලට පිලිතුරු නොලැබුණත් කොටසකට හෝපිලිතුරු ලැබේ යැයි සිතමි.

    ප්‍රශ්ණ ඇසීමට පෙර ඔබට ඔබේ කතාව කීමට ඉඩදිය යුතු යැයි සිතමි. මේ ඔබේ කතාවයි, ඒ නිසා එය ඒක පාක්ෂික වීම වැලැක්විය නොහැක. මට එය ප්‍රශ්ණයක් නොවේ, ඒත් එය සැමටම එසේ නොවීමට ඉඩතිබේ. ජේවීපිය නිසා පවුලේ කෙනක් ඝාතනය වුනු අයෙක් ගැන සලකා බලමු. ඔබට ඔබේ වදකයන් ගැන ඇති හැඟීමම, ඔහුට හෝ ඇයට, ඔබ කෙරේ ඇති වුවොත් , එය පුදුමයට කරුණක් නොවේ.

    දකුණේදී මිලේච්චයන් වු හමුදාවම , ඉන් ටික කලකට පසුව උතුරේදී රණ විරුවන් විය. සොල්දාදුවාගේ රාජකාරිය "හමුදා නීතියට" අනුකූලව මිණී මැරීමයි. මේ "හමුදා නීතිය" කලින් කලට, නායකයන්ට අවශ්‍ය ලෙසට වෙනස් වේ. මේ නීතිය දේශප්‍රේමී ව්‍යපාරයත් පොදුය. අපට වැරදී ඇති වග පෙනෙන නමුත් වැරදුනේ කොතැනදැයි නොදනිමි. මා උභ‍තෝකෝටික ප්‍රශ්ණයක පැටලී ඇතැයි කීවේ ඒ නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ සාධනීය මැදිහත්වීම ගැන බෙහෙවින්ම ස්තූතියි.....

      ඉදිරියේදී අපි සාකච්ඡාකරමු. මේ දවසවල මම ටිකක් කර්යබහුලයි.

      Delete
  43. කියෙව්වෙමි. නැවත එන තුරු බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට......

      Delete
  44. සෝමවංශ කතාවක් පැවැත්වුවා පානදුරේදි. ඒක තමයි එංගලන්තේ ඉඳලා ලංකාවට ආවට පස්සේ කරපු පළමු කතාව. මට මතක හැටියට ඒ කතාව පැය ගාණක් මිනිස්සුන්ට එපා වෙනකම් කලා. ඒ කතාවේදී සෝමවංශ ඉතාම අවංකව කතා කලා. සෝමවංශ පිළිගත්තා එයා පැන ගත්තේ රෝ ඔත්තු සේවයට පින් සිදුවන්නට කියලා. ඒ එක්කම එයා විශේෂ ස්තුතියක් කලා එ. ජා. ප. රජයේ නම නොකියූ ප්රබලයකුට. මම හිතන විදිහට ඒ සිරිසේන කුරේ හෝ ප්රේමදාස.
    නමුත් මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ සෝමවංශ ජ. වි. පෙ. හි මුල් බැසගත්, අනිකුත් මාක්ස්වාදී පක්ෂවලටත් පොදුවූ, ලාංකීය සංස්කෘතිය හෙළාදකින ගතිය පක්ෂයෙන් ඉවත් කිරීම. ඒ වෙනුවට ඔහු ලාංකීය සංස්කෘතිය ඉහළ තැනක තියන්න කටයුතු කරනවා. එහි ප්රතිපලය විදිහට 88-89 මර්දනයේදී නැත්තට නැතිවෙලා වෙලා ගිය ජ. වි. පෙ., ජනතාවගේ සුපිරිසුදු ඡන්දයෙන් මන්ත්රී ආසන 41 ක් දිනා ගන්නවා. සෝමවංශ තමුන්ගේ අදහස් මක්ස්වාදී න්යායෙන් වෙන්කරලා www.theacademic.org වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ මේ දේශීයත්වය ඇගයීම කරනවා පළමු වරට. ඒ වෙනකොට ජ. වි. පෙ. විසින් වදාරමින් තිබුණේ ගිරා පෝතක මාක්ස්වාදී සමාජවාදයයි. එතනදී සෝමවංස ඉතා නිවැරදි ලෙස පක්ෂයට අලුත් දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඔහු වරෙක පුවත් පත් සාකච්චාවකදි ස්වයං නීර්ණ අයිතිය යල් පැන ගිය සංකල්පයක් සේ හඳුන්වනවා. නමුත් ඊට පෙර ජ. වි. පෙ. සිය කඳවුරු වලදී සහ පංති පහ දේශනවලදි කරන්නෙම බුදු දහම මත පදනම් වූ අපේ සංස්කෘතිය විවේචනය කරන එක. ඔවුන් විශ්වාස කරපු විදිහට ලාංකීය විප්ලවය පණගන්වන්න බැරි හේතුව බුද්ධාගම. ඒ තත්වය වෙනස් කරපු සෝමවංශට මගේ ගෞරවය හිමි වෙනවා. සෝමවංශ අද ඉන්න තත්වයට මූලිකව වග කියන්න ඕනේ ජ. වි. පෙ. හි මාක්ස්වාදී ගිරා පෝතකයෝ කියලයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතාන්ත්‍රවාදී රටවල ජීවත්වන අප අද භුක්ති විඳින හුදීජන වරප්‍රසාද බොහොමයක් අපට ලැබුනේ සමාජවාදය හරහායි. සමාජවාදය ක්‍රියාත්මක වූ ආකාරය ගැන පැහැදීමක නැති වුනත්,සමාජවාදී කඳවුරේ රටවල් එකින් එක බිඳ වැටෙන කොට මට ඇතිවුනේ කණගා‍ටුවක්. එක අතකින් එය ලෝකයේ දේශපාලන සමතුලිතතාවයට බලපෑවා.

      "ගිරා පෝතක මාක්ස්වාදී සමාජවාදය", ඒකෙන් බොහොම දිග කතාවක් කියවෙනවා. සමාජවාදී කඳවුර බිඳවැටීමට මේකත් හේතු වුනාද? කාලයේ තාලයට වෙනස් වෙන්න බැරිවු ඩයිනෝසරයන් වු දෙයම ඔවුන්ටත් වුනාද? සෝමවංශ ගැන මගේ එතරම් පැහැදීමක් නැති වුනත්, ඔබ ඔය කියන කතාව අනුව ඔවුන්ගේ වෙනස් වීම ගැන සතු‍ටුයි.නමුත් පීඩිත පන්තියේ විකල්ප පක්ෂය ලෙස අප විස්වාස කල ජවිපෙ, අද ඉන්න තත්ත්වය ගැන අපට අවංකවම සතු‍ටු විය හැකිද? නැත්නම් , සාමන්‍ය මනුස්ස ස්වභාවය ඔවුන්ටත් පොදු නිසා, අප එවැනි අධි බලාපොත්තු තබා ගැනීම අසාධාරණද? පෙර‍ටුගාමී කඳවුරට, ජවිපෙ ඇති අඩුපාඩුවලින් ඉගෙනගෙන යම් වෙනසක් කල හැකි වේද?

      මේ මට දැණ ගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය ප්‍රශ්ණ වලින් බිඳක් පමණයි. මෙතෙක් ඔබ සැමම දැක්වු ප්‍රතිචාර වලින් මා බොහෝදේ ඉගෙන ගත්තා. මිනී මරාගන්නා මාතෘකාවක් වන දේශපාලනය ගැන සාකච්චාවක්, මේ මට්ටමින් පවත්වාගෙන යෑමට හවුල් වූ සැමට මගේ ප්‍රණාමය.

      Delete
    2. බොහොම හොද සංවාදයක්. ඉබ්බා කියපු ප්‍රශ්ණ ඔක්කොම වගේ මටත් හිතුන නිසා කමෙන්ට් එකක් දාල යන්න හිතුනා. මම නම් හිතන්නේ ඇස්, මස්, ලේ වලින් හැදුන ජ.වි.පෙ. වුනත් කොච්චර විප්ලවවාදීයි කිව්වත් අපේ සමාජයේම තවත් පැතිකඩක්. ඒ නිසා අපි ඔවුන් කෙරෙහි තබපු බලාපොරොත්තු බර වැඩියි. ඒ හේතුව නිසා මිසක් අදටත් ජ.වි.පෙ ට එල්ල වෙන්න ප්‍රධාන පක්ෂ දෙකට එල්ල වෙන වඩාත් බරපතල චෝදනා ගොඩ නම් නෙමේ. මතවාද, අඩු පාඩු තිබිය හැකියි. ඒත් තවමත් ජ.වි.පෙ. ට ස්වයං විවෙචන කරන්න පිට කොන්දක් තියනවා. දූෂණ, වංචා නොකර ඉන්න හෘද සාක්ෂියක් තියනවා. මේ දෙකම ප්‍රධාන පක්ෂ දෙකටම නෑ.

      Delete
  45. මම අහලා තියෙන "ජ.වි.පෙ කැරලිකරුවන් සන්නද්ධ අංශවල පවුල්වලට වගේම අනෙක් පවුල්වලට මුදාහළ භීෂණය නිසාම විසෙන් විස නැසීමේ න්‍යාය යටතේ සන්නද්ධ අංශත් ජ.වි.පෙ සාමාජිකයන් මර්දනය කරමින් ඒ සඳහා අලුතින් එක්වන්න ඉන්න අයගේ මග අහුරමින් කටයුතු කළා" කියන කතාව ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය හමුදා පවුල්වලට මරණ තර්ජන කළේ '89 මැද භාගයේ දී විතර, ඒ වෙනකොට මර්දනය උග්‍ර අතට හැරිලයි තිබුනෙ. තමන්ගෙ පවුල්වල අය දේ.ජ.ව්‍යා වලට නිරාවරණය වෙලා නිසා හමුදා සෙබලුන් නිශ්ක්‍රිය වෙයි කියලා හිතාගෙන වෙන්න ඕන ඒ තීරණය ගන්න ඇත්තෙ. ඒත් ඒක පනින රිලවුන්ට ඉනිමං බැදිමක් වුනා.
      කෙසේ වෙතත් ඒ තීරණය ක්‍රියාත්මක වුනේ නෑ. හමුදා පවුල් කියන්නෙ පිටසක්වලින් ආපු අය නෙවෙයිනෙ, ඔවුන් සංවිධානයේ සාමාජිකයින්ගෙත් නෑදෑයෝ, කවුරුවත් මේ වැඩේට කැමති වුනේ නෑ.ඒත් පාලකයො මේ තත්ත්වය අපූරුවට තමන්ගෙ වාසියට හරවා ගත්තා.හමුදා සෙබලුන් ඊට කලින් ක්‍රියාත්මක වුනේ "සතුරා" මවාගෙන, ඒත් මේ මෝඩ තීරණය නිසා තමන්ගේ සතුරා සෙබළුන්ගේත් සතුරා ලෙස හදුන්වාදෙන්න පාලකයින්ට පුළුවන් වුනා....

      Delete
  46. @ isthoeppuwa & ඉබ්බා

    අධික කාර්ය බහුලත්වය නිසා මේ සංවාදයට සම්බන්ධ වීමට මේ මොහොතේ හැකියාවක් නැත. විදුලිය සිදලීම් ආදිය යථා තත්වයට පත් වූ පසු කතාකරමු.

    .....ඔබට බොහොම ස්තූතියි....!!!

    ReplyDelete
  47. ස්තූතියි. ඔව්,අපි නිවි සැනසිල්ලේ කතා කරමු.

    ReplyDelete
  48. පමා වෙලා ඇවිත් සේරම කියෙව්වා . මේදවස්වල බලනවා කොරියන් කතාවක් . ජපන්නු යටත් කරන හිටිය කාලේ . කොරියන් අරගලකරුවන්ට වැඩ දීම දැක්කම මට මේ දේවල් ආයේ මතක් වුනා . අද වෙද්දී ජේ විපිය කරපු දේවලුත් හැරීමයි හිතන තත්වයට ආවත් ඒ කාලයේ පාසල් ළමුන් ලෙස අප ගත්තේ ඒ පැත්ත . ඒ නිසා බොහෝ වැට උඩ හිටි ළමුන් ඒ පැත්තට වැටීම සිද්ධ වුනා .

    කොටින්ම සිරිකොතේ අම්ම වැඩ කල නිසා පන්තියේ ළමයෙක් අපෙන් හරියට බැනුම් ඇහුවා . ඒ වගේ කාලයක් ඒක. ඒ වගේ කාලයක් ආයේ නොඑනවා නම් තමයි හොඳ . සුමිත්ගේ තාත්ත ගැන හරිම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල ශීෂ්‍ය අරගල වලදි, ශිෂ්‍යයන්ටකත් වඩා ශිෂ්‍යාවන් තමයි වඩාත් අරගල කාරී වුනේ, අපේ ඉස්කෝලෙදි නම් රුවිනි අබේමාන්න තමයි අරගල වලදි ඉදිරියෙන්ම හිටියෙ.(ඇය ලංකාව වෙනුවෙන් වායු පිස්තෝල ඉසව්වෙන් ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩිකාවක්-ඇයට එතරම් දුර යන්න පදනම වැටුනෙත් එතනින්මයි.)

      හැබැයි රුවිනි පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී පැල්මඩුල්ල ප්‍රා.සභාවට ඡන්දෙත් ඉල්ලුවා U N P යෙන්. ඒදා එහෙමයි මෙදා මෙහෙමයි.....

      Delete
  49. අදම තමයි මේ පැත්තේ ආවේ.මේ ලිපිය විතරක් සම්පුර්ණම කියෙව්වා.

    ම්ම්ම්...කියන්න දේකුත් නෑ.ඒත් මම කියවල තියන K.Point පොත මතක් වුනා.සිංහල නම මතක හැටියට වදකාගාර කදවුර වෙන්න ඕනි.

    හරිම දුක්බර සිදුවීම්..හැමෝම මනුස්ස ආත්ම කියල මනුස්සයෝ හිතලත් නෑ තවම හිතන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටින් පිළිගන්නවා....!

      ඔබ කියන්නෙ රෝහිත මුණසිංගේ "එළියකන්ද වදකදවුර" ගැනයි.

      මම ඒ තරම්මනම් වදවිදලා නෑ.

      Delete
  50. හිතාගන්න බැහැ මොනවා කියන්නද කියලා.අසරණ මිනිස්සු නිරපරාදේ දුක් විඳපු එක ගැන නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවකට අද වගේ කාලයක දි ප්‍රතිචාර දක්වන එක අමාරුයි තමයි...

      Delete
  51. මේව අහන්න අපි පව් කරල තියනව ඇති හිතාගන්න බෑ මොනවද කියවන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. ඔබ ජීවත්වන ප්‍රදේශයේ තමයි මේ සිදුවීම් දරුණුවටම තිබුණෙ.

      Delete
  52. අයියේ, මම පෞද්ගලිකව නම් මේ කියන සිදුවීම් අත් දැකලා නැහැ. 1988-1989 වගේ කාල සීමාවන් තුළදී මේ වගේ සිදුවීම් රටේ වුනා කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඔය කාලය වෙද්දී මට වයස අවු4-5ක් විතර ඇති.නමුත් එහෙම තියෙද්දිත් මට රට තුළ මෙවැනි දෑ සිදුවුණ බවට යම් අදහසක් ලබුණේ එක්තරා දවසක වූ අහඹු සිද්ධියකින්. මට මතක විදියට ඒ 1989 අවුරුද්ද. කොහොමහරි ගෙදර අයත් එක්ක කොලඹ එන්න වුණා මට යම් හේතුවකට.මට හරියටම මතක නැහැ කොළඹ කොහෙටද ගියේ කියලාවත් අද වෙනකොට. නමුත් අපි බස් එකෙන් යනකොට කැළණි පාලම උඩදි මම දැක්කා මිනිස්සු ගොඩාක් පාලමේ ඇඳි 2ක දෙපැත්තට වෙලා මොකක්ද දෙයක් දිහා පොරකකා බලනවා. හරියට මැජික් එකක් බලනවා වගේ ගඟේ තිබ්බ මොකක් හරි දෙයක් දිහා තමයි මිනිස්සු බැලුවේ.බස් එකේ උන්න මම දැක්කේ නැහැ මොකක් දිහාද මිනිස්සු බලන්නේ ඔච්චර පොරකකා කියලා. බස් එකේ උන්න මිනිස්සුත් කලබලයෙන් වගේ ඉස්සි ඉස්සි බැලුවා ඒ දිහා. මම ගෙදර අයගෙන් ඇහුවත් මොකක් දිහාද මිනිස්සු ඔච්චරටම බැලුවේ කියලා, කවුරුවත් ඔය දේ මට කිව්වේ නැහැ. නමුත් බස් එකේ උන්න කවුරු හරි වෙන කාටද මහ හයියෙන් කිව්වා "අනේ ඔය මළ මිනී ගඟේ පාවෙන දිහානේ මිනිස්සු ඔය බලන්නේ කියලා". මට එතනින් තමයි තේරුනේ මොකක් හරි අමුතු දෙයක් රට තුළ ඒ කාලේ සිද්ධ වුණා කියලා.නමුත් මම එතෙන්දිත් කිසිම දෙයක් ඇස් දෙකට නම් දැක්කේ නැහැ.ඒ වගේම අපේ ගෙවල් පළාතේත් ඔය වගේ සිද්ධි වුණේ නැහැ කියලයි වැඩිහිටි උදවිය කිව්වේ.කෙසේ නමුත් පස්සේ කාලෙක ඉරිදා දිවයින පත්තරේද කොහෙද "භීෂණයක මතක සටහන්" කියලා ලිපි පේලියක් ගියා අවුරුද්දක් පුරාවට විතර. ඒවා තුළින් තමයි මම එදා දැක්ක සිදුවීමේ නියම අර්ථය ලබා ගතේ. ඉතින් අයියේ මේ බ්ලොග් එක දිගටම ලියන්න. ඒ තුළින් මේ වගේ දේවල් අපේ රට තුළ සිදු වුණා නේද කියලා වඩාත් හොඳින් අවබෝධ කරගන්න පුලුවන්. ජයවේවා!!!!!!....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට......!!!

      Delete
  53. මේකේ මුලින්ම කියල තියන හින්ද මන් මේ පොස්ට් එක දන්නේ ,
    මේක මගේ මතය විතරයි . මම දකින දේවල් වලින් තම මගේ මතය හැදිලා තියෙන්නේ .එක නිසා එකේ වැරදි තියෙන්න පුළුවන්.

    89 කියන්නේ මම පොඩි කලේ . එක නිසා JVP එක ගෙන ලොකු අදහසක් නැ.එත් එමකලයේ දුටු දේවල් ,පසුව පොතපත කියව ගත් දැනුමෙන් සහ 89 ගෝලයන් campus එකට ඇවිත් කියන දේවල් වලින් මම තේරුම ගත්ත දේ නම් ,

    ජ්ව්ප් එක කලෙත් කොටි කලෙත් සන්නද්ධ අරගලයක් . එය අනිවාර්යෙන් මර්ධනය කල යුතුයි.( මොකද හැම මනුස්සයටම ඔය අරගලේ අවශ්‍ය උනේ නැහැ. එහෙනම් කතාව මීට වඩා වෙනස්. සහ දෙපාරක් මර්දනය වෙන්නේ නැ.) ඔබලාට ඔය කියන පිළිගැනීම තිබුනානම් ඇයි තව ඉවසල ජනමතය වෙනස් කරන්න ගියේ නැත්තේ? ආ යුධ ගන්න අවශ්‍ය අන්තිමට නෙමෙයි ද ? පලවෙනි කැරැල්ලෙන් ඔබලාගේ නායකයෝ සත පහක දෙයක් ඉගෙන ගත්ත නම් දෙවන කැරැල්ල ඔය තත්වෙට යනවද? මම දකින්නේ ආ යුධ ගන්නව කියන්නේ අවශ වෙලාවට මරන්න ඕනේ නෙත්නම් මැරෙන්න ඕනේ. වෙච්ච දේවල් වලින් පාඩම ඉගෙන ගන්නේ නැතිව හරක් වගේ කියන කතන්දර වලට රැවටිලා මර්දනය වෙලා "අපිට යටත් වෙන්න කියල හොදින් කීවානම් අපි යටත් වෙනවා නේ " වගේ කියන එක තේරුමක් නැ මම දකින විදිහට නම්.එකේ අනුගමනය කරපු ක්‍රමවේදය ඔබ කියන ආකාරයට කුරිරුයි නමුත් එය වියයුතුයි.(ඔබ කියනාආකාරයට කාලයට සාපේක්ෂව )

    මම මේක ලීවේ මම කැපුවත් කොළ වගේ දෙයක් නිසා නෙමේ. මම දකිනවා ඔබ දැනට සන්නද්ද අරගලය සාදාරනයි කියනා මතේ ඉන්නව කියල හැගුන නිසා .

    ඔබට වුන දේ ගැන කණගාටුයි. නමුත් ඔබට එය ගැන කණගාටුවක් නැතැයි සිතමි . මොකද ඔය සහෝදර වරු තීරණේ ගනිද්දී ( කාලෙට සාපේක්ෂව පැත්තකින් කොටි ගහද්දි ) හොදට කල්පනා කරන්න ඇතිනිසා.

    ReplyDelete
  54. මාර කතාවක් සහෝදරයා.ඔබට ජය

    ReplyDelete
  55. //වධ දීමේ දී, දෑතේ මහපට ඇඟිලි එකට එක්කර නයිලෝන් ලණුවකින් බැඳ බාල්කයේ එල්ලා පහරදීමේ ක්‍රමය //

    ඔක්කොමත් හරි මුළු ඇඟේම බර නිසා මහපට ඇඟිලි ඉතුරු වුනාද කියලත් සැකයක් ආවා... කියවද්දි ලේ රත්වෙන එකනම් නවත්තන්න අමාරුයි.මේ කැම්පස් වර්ජනේ නිසා මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා මට නිකමට හිතෙනවා... එහෙම වුනොත් ආයේ තරුණ ජීවිතවලට මොනා වෙයිද...

    ලිවීම උපරිමයි.ආසාවෙන් කියවන්න පුළුවන් උනත් මේ කියවන්නේ කෙනෙක්ගේ කඳුලු කතාවක් නේද කියලා හිතෙද්දි එන හැඟිම කියන්න අවශ්‍ය නෑනේ...

    පසු නොබසින ධෛර්යයට මගේ පුණාමය... ජය වේවා

    ReplyDelete
  56. ලෙයින් යකඩින් ලියවුන යුගයක මේ වගේ අප්‍රකට කතා ඕන තරම් ඇති.ඉතිහාසය ලියනුයේ ජයග්‍රාහකයන් විසිනි.ඉතිහාසයේ කුමක් ලියවුනද මිනිස් වර්ගයාගේ අනාගතය වෙනුවෙන් විප්ලවවාදීන් කල කැපකිරීම් කිසිදා නොමැකේ.

    සංවේදී ලිපියක්....

    ReplyDelete
  57. උඹේ බ්ලොග් එක ආයෙත් කියෙව්ව. ලියන්නෙ නැති එක අපරාදයක්.

    ReplyDelete